ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතීව්ස් සහභාගී වන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අද වාර්තාවක් බිහි වුණා.

ඒ, වසර 29කට පසු පළමුවරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයක ඉනිමක් දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු විසින් ආරම්භ කිරීමයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළේ දකුණත් පිතිකරු දෙපළක් වූ පැතුම් නිස්සංක හා නවක ක්‍රීඩක ලහිරු උදාර විසින්.

මීට පෙර අවසන් වරට එලෙස දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු විසින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කර ඇත්තේ 1995 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න්හිදී පැවැති තරගයදීයි.

රොෂාන් මහානාම සහ චන්දික හතුරුසිංහ විසින් එම ඉනිම ආරම්භ කර තිබුණා.

එතැන් සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහභාගී වූ ටෙස්ට් තරග 260කදී ශ්‍රී ලංකා ඉනිමක් දකුණත් පිතිකරුවන් දෙපළක් විසින් ආරම්භ කර නොතිබීම විශේෂත්වයක්.

බංග්ලාදේශය සමග පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේදී සාර්ථක පිළිතුරක් ලබාදීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට අද දිනය පුරා හැකි වුණා.

ඒ, තරගයේ තුන්වන දිනය වූ අද දිනය නිමාවන විට කඩුලු 04කට ලකුණු 368ක් රැස්කර ගනිමින්.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක සිය ටෙස්ට් දිවියේ තුන්වන ශතකය වාර්තා කරමින් අද රැස්කල ලකුණු සංඛ්‍යාව 187ක්.

දිනේශ් චන්දිමාල් ලකුණු 54යි. සිය අවසන් ටෙස්ට් තරගයට එක්වන ඇන්ජලෝ මැතීව්ස් ලකුණු 39කට දැවී ගියා.