ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදු කරන විමර්ශනවලට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින්.

ඒ අනුව අත්අඩංගුවට ගත් එම බන්ධනාගාර අධිකාරීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි නෙත් නිවුස් අද අලුයම සිදු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

රුපියල්ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපු මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු නිදහස් කිරීමට අනුබල දීමේ චෝදනාව යටතේ එම බන්ධනාගාර අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරියට ලිඛිත දැනුම්දීමක් මගින් අදාළ සිරකරුවා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට පවසා ඇතැයිද වාර්තා වුණා.

ඒ අනුව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි ඩබ්ලිව් එම් අතුල තිලකරත්න නමැති විත්තිකරුවෙකු පසුගිය 12 වනදාට යෙදී තිබූ වෙසක් පොහොයදා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර මුදාහැර ඇති බව සඳහන්.

ජනපති පොදු සමාව හිමි නොවූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිල්ලක්ද සිදු කර තිබුණා.

ඒ අනුව ඊට අදාළ විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඊයේ දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බවද පොලීසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.