ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ඉදිරි මාස තුන තුළ නිර්මාණය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
එහි ආරම්භක පියවරක් ලෙස “ශ්‍රී ලංකාවට සුදුසු ආහාර සුරක්ෂිතතා දර්ශකයක් හඳුනා ගැනීම හා උපායමාර්ග සැලැස්මක් සම්පාදනය කිරීම” පිළිබඳ වැඩමුළුවක් කොළඹදී පැවැත්වුණා.
ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය වැනි දර්ශකවලින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවෙහි සමස්ත තත්ත්වය නිවැරදිව පිළිබිඹු නොවන බව පෙනී ගොස් ඇති බැවින් හා පවතින දත්ත ප්‍රමාණවත් හෝ නිරවද්‍ය නොවන බැවින්, ඒ මත පිහිටා නිසි ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමද දුෂ්කර වී ඇති බවය ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
එබැවින්, ඉදිරි වසර 05ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට අදාළ ප්‍රමුඛතා හා ඉලක්ක හඳුනා ගනිමින් නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට එළඹීම වෙනුවෙන් මෙම නව ආහාර සුරක්ෂිතතා දර්ශකය නිර්මාණය කිරීමට නියමිතයි.
ඒ අනුව පවත්වා ඇති වැඩමුළුවේ ආරම්භක දේශනය කරමින්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න මහතා පැවසූවේ ශ්‍රී ලංකාවට අනන්‍ය වූ නිවැරදි දර්ශකයක් නිර්මාණය වීම මෙරට ආර්ථික ස්ථාවරත්වය සහ ආහාර සුරක්ෂිතතාව සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන බවයි.