ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කර ගැනීම අරමුණු කරගත් සාකච්ඡාවල ප්‍රගතිය අඩාල වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

දින 60ක සටන් විරාමයක් සඳහා වූ අමෙරිකානු යෝජනාවක් සම්බන්ධයෙන් වක්‍ර සාකච්ඡා ඊයේ දිනයේ පැවති බවත් ගාසා තීරයේ 40%ක් පමණ ඊශ්‍රායල පාලනය යටතේ තබන ලෙස ඊශ්‍රායලය කළ යෝජනාව හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ හේතුවෙන් ඊශ්‍රායල හමුදා පලස්තීන ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීමේ ප්‍රමාණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර විසඳුමකට එළඹී නැහැ.

මෙම ප්‍රශ්න සහගත තත්ත්වයට හමාස් සංවිධානය වගකිව යුතු බවයි ඊශ්‍රායල නිලධාරින් චෝදනා එල්ල කරන්නේ.

අදාළ සාකච්ඡා ආරම්භ වී දින හතක් ගතවී ඇතත්, එක්සත් ජනපද සහය ලත් නව සටන් විරාම යෝජනාවක් මත පදනම්ව ඉක්මනින් ඉදිරි ගමනක් බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

කෙසේවෙතත් හමාස් සංවිධානය විසින් ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට පෙර යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමක් ඉල්ලා සිටියද ඊශ්‍රායලය අවධාරණය කර ඇත්තේ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගාසා තීරයෙන් හමාස් සංවිධානය විසුරුවා හැරීමෙන් පසුව පමණක් සටන අවසන් කරන බවයි.

මේ අතර ගාසා තීරයේ ‘ආහාර’ ආධාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් 17 දෙනෙකු ඊශ්‍රායල හමුදාවේ වෙඩි තැබීම්වලින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජනපදයේ සහය ලත් ආධාර බෙදා හැරීමේ පද්ධතියක් තුළ සිදු වූ නවතම සමූහ වෙඩි තැබීමෙන් සති හයක් තුළ පුද්ගලයින් 798 ක් මිය ගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ.