රටම කම්පා කළ කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාළව ආයතන කිහිපයකට එරෙහිව නීතිමය පියවර ගැනීමට, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ඒ අතරට ලංකා ගමනා ගමන මණ්ඩලය, කතරගම ඩිපෝවේ ඩිපෝ අධිකාරිවරයා ද අයත්.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පැවරීමට ඇති හැකියාව පිළිබඳව ද සොයා බලන බවයි.

ඔහු කියා සිටියේ බස් රථයේ රියදුරුට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කිරීමට කටයුතු නොකරන බවයි.

පසුගිය මැයි මස 11 වනදා අලුයම 04.45ට පමණ නුවරඑළිය – මහනුවර මාර්ගයේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බස් රථය ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදු වුණා.

එහිදී මගීන් 23 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර තවත් 60 දෙනෙකු තුවාල ලැබුවා.