සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ධාවන ඇරඹීමට පැය 48කට පෙර මූලික තත්ත්ව පරික්ෂණයක් කිරීම අනිවාර්ය කිරීමට ප්‍රවාහන බලධාරින් තීරණය කර තිබෙනවා.

කොළඹ බැස්ටියන් මාවත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් එළඹෙන ඔක්තෝම්බර් මාසයේ සිට මෙම වැඩපිළිවෙලේ මූලික අදියර ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.

මේ අතර ඇල්ල - වැල්ලවාය මාර්ගයේ පසුගිය දා සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සිදුකළ විශේෂඥ පරීක්ෂකයින්ගේ සම්පූර්ණ වාර්තාව අද දිනයේ තමන් වෙත ලැබෙනු ඇති බවද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියා.

අදාල බස් රථයේ පැවති තාක්ෂණික දෝෂ මෙන්ම බස් රථය පැදවූ රියදුරාට මාර්ගය නුපුරුදු වීම මෙම අනතුරට හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා.

එම රියදුරා අදාල මාර්ගයේ බස් රථයක් ධාවනය කර ඇත්තේ පළමු වරට බවද පරික්ෂණවලදී අනාවරණය වී ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.