මෙම වසරේ මෙරට ආර්ථිකය සියයට 05කට ආසන්න වර්ධනයක් අත්පත් කරගැනීමේ හැකියාවක් පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

වසරේ පළමු කාර්තු දෙක තුළ ආර්ථික වර්ධන වේගය සියයට 4යි දශම 8ක් සහ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 4යි දශම 9ක් වීම මගින් එම තත්ත්වය පුරෝකථනය කළ හැකි බවයි ඔහු කියා සිටියේ.

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඊයේ ප්‍රකාශයට පත් කරක ලද මෙම වසරේ දෙවන කාර්තුවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු අනුව දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4යි දශම 9ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී තිබෙනවා.

දෙවන කාර්තුවේදී කෘෂිකාර්මික අංශය සියයට දෙකක්, කාර්මික අංශය සියයට 5යි දශම 8ක් සහ සේවා අංශය සියයට 3යි දශම 9ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

2015 ස්ථාවර මිල ගණන් යටතේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරේ දෙවන කාර්තුවේදී රුපියල් මිලියන විසි හත් ලක්ෂ හතළිස් නව දහස් පන්සිය හතරක් ලෙස වාර්තා වී තිබුණා.

එය මෙම වසරේ දෙවන කාර්තුවේදී රුපියල් මිලියන විසි අට ලක්ෂ අසූ තුන්දහස් පන්සිය 59ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.