දිට්ව සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්වූ උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ගමනාගමන අධිකාරී, මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පැවසුවේ ලබන සතිය වන විට මෙම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට සැලසුම් කර තිබුණද අපේක්‍ෂිත කාලයට වඩා ඉක්මනින් එය සිදු කිරීමට හැකි වු බවයි.

එමෙන්ම නත්තල් උත්සවය, පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර, උත්සව සමය වෙනුවෙන් අද සිට ලබන 27 වනදා දක්වා විශේෂ අමතර බස්රථ සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති සජීව නන්දන කනකරත්න මහතා සඳහන් කළේ දැනට ධාවනය වන බස් රථවලට අමතරව විශේෂ බස් රථ ධාවනයට එක් කර ඇති බවයි.

දුම්රිය ගමනාගමනය අඩාල වී ඇති ප්‍රදේශ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වමින් මෙම විශේෂ බස්රථ යෙදවීමට පියවර ගත් බවද ඔහු සඳහන් කළා.