වසා දමා තිබූ නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යළි විවෘත කිරීමත් සමගම යළිත් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 දරන පළමු ශ්‍රී ලංකන් ගුවන් යානය අද දින උදෑසන 08.15 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

එම ගුවන් යානය අද දින දහවල් 11.41 ට නේපාලයේ කත්මණ්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමිත අතර එම ගුවන් යානය යළිත් එරට සිටින ගුවන් මගීන් රැගෙන අද දින පස්වරු 04.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .

නේපාලයේ පැවති අරගලකාරී තත්වය මත එරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමත් සමග ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ඊයේ දින අත්හිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පියවර ගෙන තිබුණ බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා සඳහන් කර සිටියේ.

ඒ අනුව ඊයේ දින උදෑසන නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතිරික්ත ගුවන් මගීන් 35 දෙනෙකුට නවාතැන් සහ හෝටල් පහසුකම් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ලබා දී තිබුණා

නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවය පමණක් ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරන අතර එම ගුවන් ගමන් සෑම සතියකම දින 04 ක් , එනම් ඉරිදා , සදුදා , බදාදා සහ බ්‍රහස්පතින්දා යන දින වල ක්‍රියාත්මක වන බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පවසා සිටියේ.