පහරදීමකින් තුවාල ලැබූ බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් එම පහරදීම සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් පුද්ගලයින් අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි.

බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

අදාළ පිරිස ලොරි රථයක නැග මාර්ගයේ බෞද්ධ කොඩි එල්ලා විදුලි ආලෝකකරණ කටයුතු සිදුකරමින් සිට තිබෙනවා.

එම ස්ථානය අසලින් ගමන් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අදාළ පිරිසට පවසා ඇත්තේ මාර්ගය අවහිර නොකර එම කටයුතු සිදුකරන ලෙසයි.

එහිදී දෙපාර්ශවය අතර ඇති වූ නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් පොලිස් නිලධාරීන්ට අදාළ පිරිස පහරදී ඇති බවයි පොලීසිය පැවසුවේ.

කෙසේවෙතත් පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩි තබා තිබෙනවා.