අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් මෙරට ජනතාවට ආධාර රැගෙන ඉන්දීය ගුවන් යානයක් අද අළුයම මෙරටට ළගා වී තිබෙනවා.

ටොන් 80ක් බරැති සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් එම පරිත්‍යාගයට ඇතුළත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම පරිත්‍යාගය බාර ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඉන්දීය සහනාධාර රැගත් තවත් ගුවන් යානයක් අද පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිතයි.

මේ අතර දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට මෙරට විපතට පත් ජනතාවට උපකාර කිරීමට විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා දායක වීමට කැමති විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන්ට එම මුදල් බැර කිරීම සඳහා විශේෂ බැංකු ගිණුම් අංක මෙලෙස නිකුත් කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

විදේශ රටවල සිට ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් මෙම මුදල් පරිත්‍යාග කල හැකියි.

මේ අතර, ආපදාවලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පකිස්ථාන තරඟ සංචාරයේ ලැබෙන සියලුම මුදල් සහ තරග ගාස්තු පරිත්‍යාග කිරීමට ක්‍රිකට් ක්‍රීඩකයින් තීරණය කර තිබෙනවා.

එමෙන්ම තමන් ඇතුළු කණ්ඩායම යළි දිවයිනට පැමිණි පසු තවදුරටත් එම ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට අපේක්‍ෂා කරන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සිය සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් සඳහන් කර සිටියේ.

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් මුහුණ දී ඇති පීඩනකාරී තත්ත්වය ගැන ක්‍රීඩකයින් සහ සහායක කාර්යමණ්ඩලය සිය කණගාටුවට ප්‍රකාශ කරන බවයි සනත් ජයසූරිය මහතා පවසන්නේ.

එමෙන්ම මෙම දුෂ්කර අවස්ථාවේ එකිනෙකා ගැන සැලකිලිමත් වෙමින් ආරක්ෂිතව සිටින ලෙසත්, මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් සනත් ජයසූරිය මහතා ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.