හල්දුම්මුල්ල වෑඑළිය බෝගන්දන ප්‍රදේශයේ කැලෑ රක්ෂිතයක් එළිපෙහෙළිකර පවත්වාගෙන ගිය ගංජා හේන් දෙකක් හල්දුම්මුල්ල පොලීසිය මගින් වටලා තිබෙනවා.

ඒ, ලද තොරතුරකට අනුව එම පොලීසියේ නිලධාරීන් හපුතලේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද සමග එක්ව සිදු කළ වැටලීමකදීයි.

වැටලීම සිදුකළ අවස්ථාවේ ගංජා ජාවාරම්කරුවන් එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.

එම කැලෑ රක්ෂිතයේ විශාල ගස් කපා දමා අක්කර ගණනක් හෙළි පෙහෙළි කර තිබූ බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම ගංජා පැළ තවානක් සහ අක්කරයකට අධික ප්‍රදේශයක වගාකර තිබූ හේනක්ද මෙම වැටලීමේදී පොලිසියට හමුවී ඇති අතර නඩු භාණ්ඩ ලෙස කොටසක් තබාගෙන අන් සියලු‍ ගංජා පැළ සහ තවාන ගිනි තබා විනාශ කර දැමූ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.