සීගිරිය ලෝක උරුමයක් වගේම අපේ රටේ නම ලෝකයට ගෙන ගිය අපූරු නිර්මාණයක්.

සංචාරක ආකර්ෂණය බහුලව දිනාගත් මෙරට ස්ථාන අතර සීගිරියට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.

එහෙත් අද වන විට සීගිරිය පිළිබඳ ඇසෙන්නේ එතරම් සුබ ප්‍රවෘත්ති නොවේ. ඒ, අනවසර ඉදිකිරීම් සහ කැළිකසළ නිසා සීගිරියට එල්ල වී ඇති තර්ජනය හේතුවෙන්.

දැන් ප්‍රශ්නය වී ඇත්තේ මෙම අනවසර ඉදිකිරීම් සීගිරියට කෙතරම් තර්ජනයක් වුවද ඒවා ක්ෂණිකව ඉවත් කිරීමට නොහැකි වීමයි.

දීර්ඝ කාලයක් තිස්සේ මෙම ස්ථානවල ව්‍යාපාරික කටයුතු සිදු කරන පුද්ගලයින්ගේ ජීවිතවලට එය සෘජුව බලපෑම ඊට එක් හේතුවක්.

එසේනම් දැන් සිදු කරන්නේ කුමක්ද? මේ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා.

මින් ඉදිරියට කිසිදු අනවසර ඉදිකිරීමක් සඳහා අවසර නොදෙන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

අනවසර ඉදිකිරීම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් සීගිරිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බවටයි වාර්තා පළ වුණේ.

කෙසේවෙතත් එම ප්‍රචාර අසත්‍ය බව පැවසු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා, එවැනි ඉවත් කිරීමක් සම්බන්ධයෙන් යුනෙස්කෝ ආයතනය හෝ ලෝක උරුම සංවිධානය ශ්‍රී ලංකාවට කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නොමැති බව ප්‍රකාශ කළා.

එහෙත් මෙවැනි ප්‍රවෘත්තියක් පළ වීමට පාදක වී ඇති සීගිරිය අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව ඇති බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.