මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සමථයකට පත්කර ගැනීමට හැකිවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජනායක මහතා පැවසුවේ අදාළ ගැටුමෙන් රැඳවියන් 36 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි.

ඉන් රැදවියන් දෙදෙනෙකු මරණට පත්වූ බවද ඔහු පැවසුවා.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රැදවියන් තිදෙනෙකු පල්ලන්සේන කඳවුර වෙත මාරු කර යවා තිබෙනවා.

ඊයේ දිනයේ වනවිට මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් 2,417 දෙනෙකු රඳවා සිටියා.

පැවති කලහ කාරීතත්ත්වය පාලනය කළ බවත් ඊට ඇතැම් රැදවියන්ගේ සහාය ලැබුණු බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර රැඳවියන්ගෙන් ද සහාය ලැබුණා.

මේ අතර බන්ධනාගර වහලක් මත නැග කාන්තා රැදවියන් පිරිසක් විරෝධතාවය දැක්වු අතර එම වහලය කඩා වැටී කාන්තා රැදවියන් කිහිප දෙනෙකුද තුවාල ලබා තිබෙනවා.

මීගමුව බන්ධනාගාරයේ දෙපිරිසක් අතර හටගත් ගැටුමෙන් අනතුරුව පිටත ආරක්ෂාව සදහා අවට පොලිස් ස්ථානවල නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කැදවනු ලැබුවා.

ඒ අනුව තවදුරටත් බන්ධනාගාරය පිටත මෙන්ම ඇතුළත ආරක්‍ෂාව තර කර ඇති බවයි එම ස්ථානයේ රැදී සිටින නෙත් නිවුස් වාර්තාකරු බෙනට් ෆර්ඩිනෑන්ඩස් අද උදැසන පැවසුවේ.

මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර තිබෙනවා.