ඉන්දියාව සහ කැනඩාව අතර දෙරටේම ජනතාවට ප්‍රතිලාභ අත්කර දෙන උපායමාර්ගික සහයෝගීතාවක් ගොඩනැගීමට ඉන්දියාව කැපවී සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූයේ ඉන්දියාවේ සංචාරයක නිරත කැනඩා විදේශ අමාත්‍ය අනීතා ආනන්ද් හමුවූ අවස්ථාවේදීය.

ලබන දෙසැම්බර් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අපේක්ෂිත කැනඩා සංචාරයට පෙර මෙම හමුව පැවැත්වුණු අතර, දෙරට අතර පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම අවසන් කිරීමට දෙපාර්ශ්වයම මේ වන විට කටයුතු කරමින් සිටී.

අගමැති මෝදි ඉකුත් අඟහරුවාදා දිනයේදී කැනඩා අග්‍රාමාත්‍ය මාක් කාර්නි සමඟ ද දුරකථන සංවාදයක නිරත විය.

X ගිණුමේ සටහනක් තබමින් අගමැති මෝදි සඳහන් කළේ, කැනඩා විදේශ අමාත්‍ය අනීතා ආනන්ද් හමුවීමට ලැබීම සතුටක් බවයි.

වෙළඳ, තාක්ෂණ, ආරක්ෂක, බලශක්ති, අධ්‍යාපන සහ ජනතාව අතර පවතින සබඳතා වැනි ක්ෂේත්‍රයන්හි ඉන්දියා-කැනඩා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඇය සමග ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි.

තවද, දෙරටේම ජනතාවට ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ලබා දෙන ගොඩනැගීමේ සහ ඉදිරිගාමී ස්වරූපයේ උපායමාර්ගික සහයෝගීතාවක් කැනඩාව සමඟ ගොඩනැගීමට ඉන්දියාව කැපවී සිටින බව ද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම හමුවේදී, ද්විපාර්ශ්වික සබඳතාවල පවතින උද්‍යෝගය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම මෙන්ම පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා ඉක්මනින් අවසන් කිරීම ඇතුළුව, එම සබඳතා ප්‍රායෝගික ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව ද අගමැති මෝදි අවධාරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.