මතගැටුම් හෝ යුද ගැටුම් තවමත් අවසන් වී නොතිබියදීත් ඉරානය නැවත වරක් භූගත රහසිගත මධ්‍යස්ථාන තුළ බැලැස්ටික් මිසයිල නිෂ්පාදනය ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

යුධ ගැටුම් වඩාත් උත්සන්න වූ වකවානුවේදී ඇමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ හමුදා ඉරානයේ මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථාන ගණනාවක් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළා.

අමෙරිකාව පැවසුවේ එලෙස කෙරුණු ප්‍රහාරවලින් ඉරානයේ මිසයිල නිෂ්පාදන ව්‍යාපෘතීන් සම්පූර්ණයෙන් පාහේ විනාශ කළ බවයි.

කෙසේ වෙතත් ප්‍රහාරවලින් අර්ධ හානි වූ සහ ප්‍රහාරවලට ඉලක්ක නොවූ මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථානවල මෙහෙයුම් දැන් නැවත ආරම්භ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ප්‍රධාන වශයෙන් ටෙහෙරාන් අගනුවරට නැගෙනහිරින් පිහිටි කෝජීන් හි දැවන්ත භූගත සංකීර්ණයක මිසයිල නිෂ්පාදනය සිදුකිරෙමින් ඇතැයි බුද්ධි තොරතුරු අනාවරණ කර තිබෙනවා.

ඉරානය මෙම භූගත සංකීර්ණයේදී ද්‍රව ඉන්ධන මගින් ක්‍රියාත්මක වන මිසයිලද එමෙන්ම ඝන ඉන්ධන මගින් ක්‍රියාත්මක වන මිසයිල ද නිෂ්පාදනය කරන බවයි බුද්ධි තොරතුරු වැඩිදුරටත් අනාවරණ කර තිබෙන්නේ.

ඝන ඉන්ධන මගින් ක්‍රියාත්මක වන සිජිල් මිසයිලය ඉරානය සතු මිසයිල අතර වඩාත්ම විනාශකාරී එකක් ලෙස සැලකෙනවා. එය ඊශ්‍රායලය හෝ දකුණු යරෝපය වෙතද ළඟාවීමේ හැකියාව සහිතයි.

 

මෙම සියලු ආකාරවල මිසයිල ඉරානය විසින් දැන් නිෂ්පාදනය කරමින් තිබෙන බවයි අනාවරණ වූ බුද්ධි තොරතුරුවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

මීට අමතරව මෙම සියලු මිසයිල අභිබවා යන විනාශකාරී බලයක් සහිත ෆාටාට් 2 නමැති අති නවීන හයිපසොනික් මිසයිල තාක්ෂණයද ඉරානය මේ වන විට සාර්ථකව යොදා ගනිමින් තිබෙන බවයි විශ්වාස කෙරෙන්නේ.

මෙම තාක්ෂණයෙන් නිෂ්පාදනය කෙරෙන මිසයිල වලට ශබ්දයේ වේගය මෙන් 15 ගුණයක වේගයෙන් ගමන් කළ හැකි වනවා.

ඉරානයට ඒ වර්ගයේ අති නවීන මිසයිල නිෂ්පාදනය කිරීම සඳහා රුසියාවේද තාක්ෂණික සහය ලැබී ඇති බව ඇතැම් බුද්ධි තොරතුරු වලින් අනාවරණ කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන්.

තවද, මෙම මිසයිල මගින් මිනිත්තු දහයකටත් අඩු කාලයකදී මැද පෙරදිග කලාපයේ ඕනෑම ඉලක්කයක් විනාශ කිරීමේ හැකියාව ඉරානයට ලැබෙන බව බුද්ධි තොරතුරු විශ්ලේෂණය කරමින් විදෙස් මාධ්‍ය කියා සිටිනවා.

ඉරානයේ මෙම නවතම මිසයිලවලට වායුගෝලයේදී ගමන් මග වෙනස් කිරීමේ හැකියාව පවතින අතර ඇමරිකාවේ හෝ ඊශ්‍රායලයේ වඩා දියුණු ගුවන් ආරක්ෂක පද්ධතිවලට පවා ඒවා විනාශ කිරීමට නොහැකි බවයි පැවසෙන්නේ.

ඉරානය සිදුකරමින් සිටින මෙම යුදමය සවිබල ගැන්වීම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික බලය ශුන්‍ය කිරීම වෙනුවෙන් අමෙරිකාව සහ ඉරානය අතර ඉකුත් ජුනි 17 වනදා ඓතිහාසික අවබෝධතා ගිවිසුමද මේ වන විට බිඳ වැටෙමින් තිබෙනවා.

ඉරානයට නැවත ගොඩනැගීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 300ක මුදල් ආධාර ලබා දීමට ඇමෙරිකාව එකඟ වූයේ ද මෙම ගිවිසුමෙන්.

කෙසේ වෙතත් ඉරානය මිසයිල නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට පෙර අවස්ථා කිහිපයකදී අමෙරිකාව විසින්ම මෙම ගිවිසුම උල්ලංඝනය කළා.

ඒ අනුව අත්සන් තිබුණු ගිවිසුම දැන් හුදෙක් නාමික එකක් පමණක් බවයි ජාත්‍යන්තර හා යුධ විශ්ලේෂකයන් පවසන්නේ.

මිසයිල නිෂ්පාදනය නැවත ආරම්භ කරමින් ඉරානය ගත් නව පියවර හේතුවෙන් ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් යුද ජයග්‍රහණ ද ප්‍රබල අභියෝගයකට ලක්ව තිබෙනවා. මැද පෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු වලටද නැවත ප්‍රබල තර්ජනයක් ඇති වී තිබෙන බවයි ජාත්‍යන්තර සහ යුධ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

මේ අතර ඉරානයේ සහාය ලබන හුතී සටන්කරුවන් ද මිසයිල නිෂ්පාදනය කරමින් සිටින බව බුද්ධි තොරතුරු අනාවරණ කර තිබෙනවා.

ක්ලෝඩ් කෘතිම බුද්ධි තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඔවුන් මෙලෙස මිසයිල නිෂ්පාදනය කරන බවයි බුද්ධි තොරතුරු වලින් වැඩිදුරටත් කියවෙන්නේ.

රතු මුහුදේ පාලනය අත්පත් කර ගැනීම සඳහා හූතී සටන්කාමීන් ඉකුත් දිනවල උපායමාර්ගිකව වැදගත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ඇත්තේ ද මෙලෙස නිෂ්පාදනය කෙරුණු  මිසයිල යොදා ගනිමින් බවට තොරතුරු තිබෙනවා.

සිදුකෙරුණු ප්‍රහාරවලින් දැනටමත් රතු මුහුදේ දූපත් ගණනාවක බලය අත්පත් කර ගැනීමට හුතී සටන්කාමීන්ට හැකි වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.