ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මරණීය දණ්ඩනය නියම වී සිටි සිරකරුවන් 548 දෙනෙකුගේ සිරදඬුවම්, සමාවට නිදහස් වීමේ හිමිකම් නොමැතිව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලෙස ලිහිල් කිරීමට ප්‍රාන්ත ආණ්ඩුකාර ගැවින් නිව්සම් පියවර ගෙන තිබෙනවා.
සිය ධුර කාලයේ අවසන් මාස කිහිපය ගත කරමින් සිටින ඩිමොක්රටික් පක්ෂයේ ආණ්ඩුකාර නිව්සම්, සිය ව්‍යවස්ථාපිත ක්ෂමා බලතල භාවිත කරමින් එම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලිපියක් නිකුත් කරමින් ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත්තේ, වින්දිතයන් සදානුස්මරණය කරමින් ඔවුන්ට ගෞරව කරන අතරතුර, මෙම වැරදිකරුවන්ට ජනතාවගේ අවධානයෙන් බැහැරව බන්ධනාගාර තුළදීම මියයාමට ඉඩ හැරිය හැකි බවයි.
එමෙන්ම රජය මගින් පුද්ගලයින් ඝාතනය කිරීම කැලිෆෝනියා ප්‍රාන්තයේ වටිනාකම්වලට මෙන්ම නීති පද්ධතියේ පදනමටද පටහැනි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
2006 වසරෙන් පසුව කැලිෆෝනියා ප්‍රාන්තය තුළ කිසිදු සිරකරුවෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර නැහැ.
1978 වසරේ සිට ඒ දක්වා මරණීය දණ්ඩනයට ලක් කර ඇත්තේ සිරකරුවන් 13 දෙනෙකු පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, මෙම තීරණය හරහා වාර්ෂිකව අධිකරණ කටයුතු වෙනුවෙන් වැයවන ඩොලර් මිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති බව ක්ෂේත්රයේ විශේෂඥයින් පෙන්වා දෙනවා.
ඇමෙරිකාවේ වැඩිම ජනගහනයක් සහිත කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ගැවින් නිව්සම් 2028 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඉඩ ඇති බවටද මේ වන විට වාර්තා පළ වනවා.
පැවති අතුරු මැතිවරණයෙන් ජයගත් ඩිමොක්රටික් පක්ෂයේ සේවියර් බෙසෙරා ඉදිරියේදී ප්‍රාන්ත ආණ්ඩුකාර ධුරයට පත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




