ඉන්දියාවේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා ගත් තීරණාත්මක පියවරක් ලෙස, 'කියුඩෙංගා' (Qdenga) නමැති ඩෙංගු එන්නත වෙළඳපොළට නිකුත් කිරීම සඳහා එරට මධ්‍යම ඖෂධ ප්‍රමිතීන් පාලන සංවිධානය විසින් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා ඉන්දියාව තුළ අනුමැතිය හිමි වූ ප්‍රථම ඩෙංගු එන්නත බවට මෙය පත්වෙයි.
"මෙය ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා මෙරටදී අනුමැතිය ලැබූ පළමු එන්නතයි," යනුවෙන් ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
1940 අංක දරන ඖෂධ සහ ආලේපන පනත සහ 1945 ඖෂධ නීතිරීතිවලට අනුකූලව, මෙම එන්නතෙහි ගුණාත්මකභාවය, ආරක්ෂිත බව සහ සාර්ථකත්වය පිළිබඳව සිදුකරන ලද දීර්ඝ විද්‍යාත්මක ඇගයීමකින් අනතුරුව මෙම අනුමැතිය හිමිවී තිබේ.
අවුරුදු 4 ත් 60 ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් සඳහා ඩෙංගු රෝගය වැළැක්වීම පිණිස මෙම එන්නත භාවිත කිරීමට නිර්දේශ කර ඇත. නියමිත එන්නත්කරණ කාලසටහනට අනුව මිලිලීටර 0.5 ක මාත්‍රා දෙකක් ලබා දිය යුතු අතර, පළමු මාත්‍රාව ලබා දී මාස තුනකට පසුව (මාස 0 සහ මාස 3 යන පදනම මත) දෙවන මාත්‍රාව ලබා දිය යුතුය.




