ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන සෙනසුරාදා සිට දින හයක නිල සංචාරයක් සඳහා ප්‍රංශය සහ ස්ලෝවැකියාව බලා පිටත්ව යාමට නියමිතය.
සිය සංචාරයේ පළමු අදියර ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රංශයේ නීස් නුවර බලා පැමිණෙන අතර, එහිදී ඔහු ලබන ඉරිදා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වනු ඇත.
මේ වසර මුලදී 'විශේෂ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වයක්' දක්වා ඉහළ නංවන ලද ඉන්දු-ප්‍රංශ ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත ප්‍රගතිය මෙහිදී නායකයන් දෙපළගේ සමාලෝචනයට ලක්වීමට නියමිතය.
නීස් නුවරදී නායකයන් දෙදෙනා එක්ව ‘Bharat Innovates’ නැමැති විශේෂ උත්සවය ද ඒකාබද්ධව ආරම්භ කිරීමට නියමිතය.
මෙය ඉන්දියාව, ප්‍රංශය සහ අනෙකුත් රටවල ප්රමුඛ පෙළේ නවෝත්පාදන ව්‍යාපාර (startups) සහ අවදානම් ප්‍රාග්ධන අරමුදල් (Venture Capital funds) එකම වේදිකාවකට රැගෙන එන අවස්ථාවකි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, 'ඉන්දු-ප්‍රංශ නවෝත්පාදන වර්ෂය' තුළ පැවැත්වෙන මෙම සුවිශේෂී උත්සවය දෙරට අතර පවතින සජීවී නවෝත්පාදන හවුල්කාරිත්වය වඩාත් ශක්තිමත් කරන්නක් වන බවයි.
සංචාරයේ දෙවැනි අදියර ලෙස අග්‍රාමාත්‍ය මෝදි ජුනි 14 සිට 16 දක්වා ස්ලෝවැක් ජනරජයේ රාජ්‍ය සංචාරයක නිරත වනු ඇත.
1993 වසරේදී ස්ලෝවැකියාව නිදහස ලැබීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු එහි සිදු කරන ප්‍රථම සංචාරය මෙය වීම විශේෂත්වයකි.




