ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර ඇති කරගත් ඓතිහාසික විස්තීර්ණ ආර්ථික හා වෙළඳ ගිවිසුම නිල වශයෙන් බලාත්මක කර තිබේ.
මේ හරහා දෙරට අතර බදු රහිත අපනයන සඳහා මග පෑදෙන අතර ආයෝජන දිරිගැන්වීම, ව්‍යාපාරික අවස්ථා පුළුල් වීම සහ දශක ගණනාවක් තිස්සේ පැවති ආර්ථික හවුල්කාරිත්වය නව මුහුණුවරකින් ශක්තිමත් වීම සිදු වන බව වාර්තා වේ.
මෙම ඉන්දු - බ්‍රිතාන්‍ය විස්තීර්ණ ආර්ථික හා වෙළඳ ගිවිසුම ක්‍රියාවට නැංවීම, දෙරටේ ආර්ථික සබඳතාවල පරිණාමයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
සාම්ප්‍රදායික නිදහස් වෙළඳ ගිවිසුමකට වඩා එහා ගිය මෙම ගිවිසුම, ව්‍යාපාරික ක්ෂේත්‍රයට පෙර නොවූ විරූ නිදහසක් ලබා දෙන, ආර්ථික ඒකාබද්ධතාවය ගැඹුරු කරන මෙන්ම වෙළඳාම, ආයෝජන, නවෝත්පාදන සහ රැකියා ක්ෂේත්‍රයන්හි නව අවස්ථා රැසක් උදා කරන සුවිශේෂී පරිවර්තනීය රාමුවකි.
ලොව පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම ප්‍රධානතම ගෝලීය ආර්ථිකයන් දෙකක් මෙලෙස අත්වැල් බැඳගැනීම හරහා, අන්‍යෝන්‍ය විශ්වාසය, පරිපූරක ශක්තීන් සහ පොදු සමෘද්ධිය මත පදනම් වූ දිගුකාලීන උපායමාර්ගික ආර්ථික හවුල්කාරිත්වයකට ශක්තිමත් පදනමක් වැටේ.
ගෝලීය වෙළඳ පද්ධතිය තුළ දැඩි අවිනිශ්චිතතාවයක්, සැපයුම් දාමයන්හි වෙනස්වීම් සහ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමේ ප්‍රවණතාවන් ඉහළ යමින් පවතින වටපිටාවක මෙම ගිවිසුම ක්‍රියාවට නැංවීම විශේෂත්වයකි.
මෙවැනි පසුබිමක වුවද, නීතිරීති මත පදනම් වූ වෙළඳාම සහ ආර්ථික සහයෝගීතාව වෙනුවෙන් ඉන්දියාව සහ එක්සත් රාජධානිය සිය දැඩි කැපවීම ප්‍රදර්ශනය කර ඇත.
වසර හතරකට ආසන්න කාලයක් පුරා පැවැති අඛණ්ඩ සාකච්ඡාවලින් පසුව ක්‍රියාවට නැංවුණු මෙම ගිවිසුම මඟින්, වඩාත් පුළුල් වෙළඳපොළ ප්‍රවේශයක්, විනිවිදභාවයකින් යුත් රෙගුලාසි සහ ඉහළ ව්‍යාපාරික විශ්වාසයක් ඔස්සේ ද්විපාර්ශ්වික වාණිජ සබඳතා ශක්තිමත් කිරීමට දෙරටම සූදානම් බවට ප්‍රබල පණිවිඩයක් ලොවටම සන්නිවේදනය කරයි.




