තෙල් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඉන්දියානු රජය සමඟ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ බව මොරිෂස් රාජ්‍යය ප්‍රකාශ කළේය.
මෙය දීර්ඝ කාලීන සැපයුම් වැඩපිළිවෙලක කොටසක් බව සඳහන් කළ ද, ඊට අදාළ තෙල් ප්‍රමාණයන් හෝ වෙනත් වාණිජ හා මූල්‍ය කොන්දේසි පිළිබඳව කරුණු අනාවරණය කිරීමට බලධාරීන් කටයුතු කර නොමැත.
ආනයන මත දැඩි ලෙස රඳා පවතින සහ ඉරාන යුද්ධය හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති මෙම නැගෙනහිර අප්‍රිකානු දූපත් රාජ්‍යයේ ඉන්දීය ඛනිජ තෙල් අමාත්‍ය හර්දීප් සිං පූරිගේ සංචාරය අතරතුරදී මෙම ගිවිසුම්වලට අත්සන් තබා ඇත.
තෙල් සහ ගෑස් සහයෝගීතාව පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික අවබෝධතා ගිවිසුමක් මෙන්ම ඉන්දියානු ඔයිල් සමාගම සමඟ අලෙවි සහ මිලදී ගැනීමේ ගිවිසුමක් ද ඊට ඇතුළත් වන බව මොරිෂස් රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම අලෙවි සහ මිලදී ගැනීමේ ගිවිසුම මගින් පෙට්‍රල්, ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන ඇතුළු තෙල් නිෂ්පාදන සැපයීම ආවරණය කෙරේ.
ඉන්දීය රාජ්‍ය අංශයේ ඛනිජ තෙල් සමාගමක් සමඟ මෙවැනි ගිවිසුමකට එළඹි දකුණු ආසියාවෙන් පිටත පළමු රට මොරිෂස් බව අමාත්‍ය හර්දීප් සිං පූරි මෙහිදී වැඩිදුරටත් පැවසීය.




