ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර සටන්විරාම ගිවිසුමකට එකඟතාව පළ වී ඇති බව අමෙරිකානු බලධාරියෙකු ප්‍රකාශ කරනවා.

කෙසේවෙතත්, මෙම එකඟතාවෙන් පසුවත් දකුණු ලෙබනනයට එල්ල වූ දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සටන් විරාමය ක්‍රියාත්මක වූ දේශීය වේලාවෙන් සවස 4.00 න් පසුව ද නබටියේ නගරයට අවම වශයෙන් ගුවන් ප්‍රහාර 12 ක් පමණ එල්ල වූ බව සහන සේවා නිලධාරීන් පවසනවා.

මේ අතර, හිස්බුල්ලා ප්‍රහාරවලින් ඊශ්‍රායල සෙබළුන් සිව්දෙනෙකු ද මියගොස් තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයා සඳහන් කළේ, තම රටට එල්ල වන සෘජු තර්ජන ඉවත් කිරීමට දිගටම කටයුතු කරන බවයි.

නමුත් හිස්බුල්ලා සංවිධානයේ මහලේකම් ෂෙයික් නයිම් කාසම් පවසන්නේ හිස්බුල්ලා සංවිධානය විනාශ කිරීමේ ඊශ්‍රායල සැලසුම සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවයි.

පවත්නා උණුසුම් තත්ත්වය හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී ඇති කරගත් මෙම සාම ගිවිසුමේ අනාගතය පිළිබඳව මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා.

ඊශ්‍රායලය සිවිල් වැසියන් ඝාතනය කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය මිත්‍ර රාජ්‍යය වන ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙදන්යාහුට චෝදනා කර තිබීම විශේෂත්වයක්.

දෙපාර්ශවය අතර පවතින මෙම ගැටුම් හේතුවෙන් මේ වනවිට ලෙබනනයේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයන් 3,900 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව 11,600 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

ඊශ්‍රායලය මෙම සටන් විරාම ගිවිසුම් නිසි ලෙස පිළිපදිනු ඇතැයි ලෙබනන වැසියන් දැඩි සැක පළ කරනවා.