උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම සඳහා එරට නායක කිම් ජොන්අන් නව සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, අවි සඳහා අවශ්‍ය න්‍යෂ්ටික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන නවතම බලාගාරයක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

විදේශීය පුවත් සේවා වාර්තා කරන අන්දමට, පසුගිය වසර පහක කාලය තුළ උතුරු කොරියාවේ න්‍යෂ්ටික ද්‍රව්‍ය නිෂ්පාදන ධාරිතාව දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන KCNA වාර්තා කරන්නේ, එරට නායක කිම් ජොන් අන් පසුගිය බදාදා දිනයේදී මෙම නව න්‍යෂ්ටික බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවයි.

එහිදී අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ තම රටේ න්‍යෂ්ටික බලය වේගයකින් වර්ධනය කිරීමට කටයුතු කරන බවයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වූ න්‍යෂ්ටික නිරායුධකරණ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව, උතුරු කොරියාව වසර පහක විශේෂ සැලැස්මක් යටතේ මෙම න්‍යෂ්ටික අවි ප්‍රසාරණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබුණා.

මේ අතර, මැදපෙරදිග කලාපය තුළ මාස ගණනාවක් තිස්සේ ඇවිළෙමින් පවතින ඇමරිකානු-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් නිමා කිරීමට වොෂින්ටනය දැඩි උත්සාහයක නිරත වන පසුබිමකයි උතුරු කොරියාවේ මෙම නව න්‍යෂ්ටික බලඇණි ගැන්වීම් වාර්තා වන්නේ.

ඉරානය සතු න්‍යෂ්ටික ද්‍රව්‍ය ඉවත් කරගැනීමට ඇමරිකාව උත්සාහ කරන මෙවන් වටපිටාවක, උතුරු කොරියාවේ මෙම නව පියවර ජාත්‍යන්තර දේශපාලන කරළිය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.