උතුරු ප්‍රංශයේ ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් පුද්ගලයින් 44 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එම පිරිස අතර සිටි බරපතල තුවාල ලැබූ 18 හැවිරිදි තරුණියක් හෙලිකොප්ටරයක් මගින් වහාම රෝහල් ගත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රූවන් සහ කාන් අතර ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය පීලි පැනීමට ලක්වන අවස්ථාවේ එහි මගීන් 180 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බව ප්‍රංශ ප්‍රවාහන අමාත්‍ය පිලිප් තාබරොට් තහවුරු කර තිබෙනවා.
ක්ලියොන් ප්‍රදේශය ආසන්නයේ එම අනතුර සිදුවීමත් සමග ගිනි නිවන භටයින් 140 දෙනෙකු ඇතුළු සහන කණ්ඩායම් රැසක් එම ස්ථානය වෙත කැදවීමටයි එරට බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
අනතුරින් දුම්රිය මැදිරි 3ක් පෙරළී ගොස් ඇති අතර, සිදුවූ හානිය හේතුවෙන් එම ප්‍රදේශයේ දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.




