චීනයේ ෂින්ජියැන්ග් කලාපයේ උයිගර් මුස්ලිම් වැසියන් බලහත්කාරයෙන් ශ්‍රමිකයන් ලෙස යොදාගැනීමට එරෙහිව පවතින උදාසීනත්වයට සහ පියවර නොගැනීමට එරෙහිව, ප්රමුඛ පෙළේ ක්‍රියාකාරීන් පිරිසක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ එක්ව හඬ නඟා ඇත.
වයඹදිග චීනයේ පිහිටි විශේෂ රැඳවුම් කඳවුරු ජාලයක් තුළ උයිගර් වැසියන් මිලියනයකට අධික පිරිසක් රඳවා තබා ගනිමින් "ප්‍රති-අධ්‍යාපන" වැඩසටහන්වලට ලක් කිරීම අරඹා මේ වන විට වසර නවයක් ගත වී ඇතත්, තත්ත්වයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව ‘ස්ටොප් උයිගර් ජෙනොසයිඩ්’ (Stop Uyghur Genocide) සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා රහීමා මහ්මුත් කනගාටුවෙන් ප්‍රකාශ කළාය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ වටමේස සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා සිටියේ, තම ජනතාවට යුක්තිය ඉටුකිරීම සහ ඔවුන්ව වහල් සේවයෙන් මුදාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළවල් වර්තමානය වන විට අඩපණ වී ඇති බවයි.
දැනට මෙම රැඳවුම් කඳවුරු බොහොමයක් වසා දමා තිබුණ ද ඉන් උයිගර් වැසියන්ට නිදහස ලැබී නොමැත.
කඳවුරුවලින් නිදහස් කළ බව පවසන විශාල පිරිසක් නීතිවිරෝධී ලෙස සිරදඬුවම්වලට ලක් කර ඇති බව වාර්තා වේ.
ප්රමුඛ පර්යේෂකයෙකු වන ඒඩ්‍රියන් සෙන්ස් පෙන්වා දෙන්නේ සිය දහස් ගණනක් උයිගර් වැසියන් ෂින්ජියැන්ග්හි කෘෂිකාර්මික අංශයේ බලහත්කාර ශ්‍රමිකයන් ලෙස යොදවා ඇති බවයි. මේ හේතුවෙන් බොහෝ දේශීය ගොවීන්ට තමන්ගේ ඉඩම් අහිමි වී ඇති අතර, චීන මහා පරිමාණ කෘෂි ව්‍යාපාරවලට තම වගා අයිතීන් පවරා දීමට ද ඔවුන්ට බල කර ඇත.
විශේෂයෙන්ම ලෝකයේ සමස්ත කපු නිෂ්පාදනයෙන් 20%ක්ම සිදුවන්නේ ෂින්ජියැන්ග් කලාපයෙනි. H&M, Uniqlo, IKEA, Adidas, Nike සහ Muji වැනි ලොව සුප්‍රකට සන්නාම රැසක් මෙම කපු භාවිත කරයි. මීට අමතරව ඛනිජ, මෝටර් රථ, සූර්ය බලශක්ති, ඉලෙක්ට්‍රොනික සහ ඉදිකිරීම් ක්ෂේත්රයන්හි ද මෙලෙස බලහත්කාරයෙන් ශ්‍රමිකයන් සූරාකෑම බහුලව සිදු වේ.
මෙවැනි මානුෂීය නොවන වහල් සේවයන් හරහා නිපදවන භාණ්ඩ කිසිදු ලැජ්ජාවකින් තොරව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට ද ගලා එන බව පෙන්වා දුන් මහ්මුත්, මෙම "සාහසික අපරාධය" වහාම නතර කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය කඩිනම් නීතිමය පියවර ගත යුතු යැයි දැඩිව අවධාරණය කළාය.



