ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැත්වෙන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට බාධා කිරීමට කටයුතු කළහොත්, අමෙරිකාවේ කලාපීය මිත්‍ර රටක් වන ඕමානයට පහරදෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තදබල ලෙස තර්ජනය කර තිබෙනවා.
ෆොක්ස් නිව්ස් නාලිකාවේ වාර්තාකරු ටේ්ර යින්ග්ස්ට් සමඟ පැවැති දුරකථන සංවාදයකදී ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කර ඇති බවයි වාර්තා වන්නේ.
ගෝලීය වෙළඳාමට සහ බලශක්ති සැපයුමට අතිශය තීරණාත්මක සමුද්‍රීය මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඕමානය සහ ඇමෙරිකාව, ඉරානය සමඟ වෙන වෙනම සාකච්ඡා පවත්වමින් සිටිනවා.
පසුගිය මාස හයක කාලය පුරා පැවැති ඇමෙරිකා-ඉරාන ගැටුම් හමුවේ මෙම නාවික මාර්ගයේ ගමනාගමනය බොහොමයක් අත්හිටුවා තිබුණා.
ඉරාන නිලධාරීන් ඕමානය සමඟ අවසන් එකඟතාවකට පැමිණීමට ආසන්න බව ප්‍රකාශ කර තිබූ පසුබිමක, ඇමෙරිකානු ජනාධිපතිවරයා ෆොක්ස් නිව්ස් වෙත පවසා ඇත්තේ ඕමානය මෙම ක්‍රියාවලියට බාධාවක් වුවහොත් ඔවුන්ට දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි.
එමෙන්ම, දෙරට අතර අත්සන් කර තිබූ දින 60ක අවබෝධතා ගිවිසුම කල් ඉකුත් වීමට ආසන්න වුවද, එහි කාලය දීර්ඝ කිරීමට තමන් අපේක්ෂා නොකරන බව ඕවල් කාර්යාලයේදී බීබීසී ප්රවෘත්ති සේවය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
පසුගිය පෙබරවාරි මාසයේදී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසුව, ලෝක තෙල් සහ ස්වාභාවික වායු සැපයුමෙන් පහෙන් පංගුවක් ප්‍රවාහනය කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය වාරණය කිරීමට ඉරානය කටයුතු කළා.
ඕමානය මෙම ගැටුමේදී නිල වශයෙන් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ප්‍රකාශ කළද, මේ වන විට මෙම නාවික මාර්ගය මුදා ගැනීම සඳහා ඉරානය සමඟ සාකච්ඡා කිරීමට ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරනු ලබනවා.
කෙසේ වෙතත්, තම පෞද්ගලික මැදිහත්වීම මත නාවික මාර්ගය විවෘත කිරීමට ඇමෙරිකාව දරන උත්සාහයට ඕමානයේ ක්‍රියාකලාපය බාධාවක් ලෙස සලකමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදුකළ මෙම ප්‍රකාශයත් සමඟ කලාපීය රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්රය තුළ මහත් ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.



