ඇදහැලෙන මහ වැසි ගාසා තීරයේ දරුණු ආපදා තත්ත්වයක් ඇති වී තිබෙනවා.
මහ වැසි සමග ඇතිවූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් ළමයින් සිව්දෙනෙකු ද ඇතුළුව අවම වශයෙන් පස්දෙනෙකු මියගොස් ඇති බවයි අල් ජසීරා ප්රවෘත්ති සේවය පැවසුවේ.
මධ්‍යම ගාසා තීරයේ ඩෙයිර් අල්-බලා ප්‍රදේශයේ පවතින වැලි බැම්මක් කඩා වැටීමෙන්, අවතැන් පිරිස් රැඳී සිටි කූඩාරම් ගණනාවක් පස්වලට යටවී තිබෙනවා.
මේ වන විටත් එහි සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් සිදු කෙරෙන බවයි පලස්තීන සිවිල් ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කළේ.
ගාසා තීරයට ඉකුත් සිකුරාදා සිට මහවැසි ඇද හැලෙමින් තිබෙනවා.
ඒ සමග තද සුළංද පවතින බවයි අල් ජසීරා ප්රවෘත්ති වාර්තාවෙහි දැක්වෙන්නේ.
ඒ සමග ඇතිවූ ජල ගැලීම් නිසා අවතැන් පිරිස් රැඳී සිටි කූඩාරම් 70,000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබෙනවා.
ඇතැම් ගොඩනැගිලිවල බිත්ති රැසක් ද කඩා වැටී ඇති අතර, ගාසා තීරයේ ඇති තවත් ගොඩනැගිලි 2,000කට ආසන්න සංඛ්‍යාවක් කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බවද සඳහන්.
සිදු වූ ආපදා පිළිබඳ ගාසා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැය කිහිපයක් ඇතුළත හදිසි ඇමතුම් 1,500කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.
එසේ තිබියදී මහා වැසි හේතුවෙන් සිදුවූ ආපදාවල මුළු අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 3ක් පමණ වන බවයි ගාසා රජයේ මාධ්‍ය කාර්යාලය පවසන්නේ.
මේ වන විට ගාසා තීරයේ ලක්ෂ 4කට ආසන්න අවතැන් වූ පිරිසක් දැඩි අවදානම් සහිත තත්ත්ව යටතේ ජීවත් වන අතර, ඔවුනට අත්‍යවශ්‍ය කූඩාරම් ලක්ෂ තුනක පමණ හිඟයක් පවතින බව ද වාර්තා වනවා.
ඊශ්‍රායලය විසින් පනවා ඇති සීමා කිරීම් හේතුවෙන් දේශසීමා ආසන්නයේ ආධාර සහ කූඩාරම් තොග පැවතිය ද ඒවා ගාසා තීරයට ඇතුළු කිරීමට නොහැකි වී ඇති බවයි Save the Children ආයතනය පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් අධික ශීතල හමුවේ දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා.
ගාසා වැසියන් මෙලෙස ආපදා හේතුවෙන් පීඩාවට පත් වන්නේ 2023 ඔක්තෝබර් 7 වනදා ආරම්භ වූ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් එහි පලස්තීනුවන් 74,640කට වැඩි පිරිසක් මියගොස් ඇති පසුබිමකයි.
2025 ඔක්තෝබර් මාසයේදී සෙබළ ප්‍රහාර තාවකාලිකව නතර කිරීමේ ”වෙඩි තැබීම නැවැත්වීමේ” ගිවිසුමෙන් පසුව පවා ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 1,610කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තාවල සඳහන්.




