චීනය තුළ ණය කාඩ්පත් (Credit Cards) වාරික ගෙවීම පැහැර හැරීමේ දැවැන්ත වර්ධනයක් දක්නට ලැබෙන අතර, ඊට මූලික වී ඇත්තේ කිසිසේත්ම නොසිතූ පිරිසකි. ඒ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ඇති, රාජ්‍ය අංශයේ ස්ථාවර රැකියා නිරත සහ මීට පෙර යහපත් පුරවැසියන් ලෙස සැලකූ මධ්‍යම වයසේ පසුවන්නන් ය.

මීට පෙර චීන බැංකු විසින් මෙම පිරිසට ණය ලබා දීමට දැඩි උනන්දුවක් දැක්වූයේ ඔවුන් පහසුවෙන්ම සිය හිඟ මුදල් පියවනු ඇතැයි පැවති විශ්වාසය නිසාය.

කෙසේ වෙතත්, පවතින ආර්ථික මන්දගාමිත්වය හමුවේ ණය ගෙවීම පැහැර හැරීම් කොතරම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත්දැයි කිවහොත්, සිය අලාභ වූ ණය කළඹ ඉවත් කර ගැනීමට බැංකුවලට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇත.

චීනයේ බැංකු ණය වත්කම් ලියාපදිංචි කිරීමේ සහ සංසරණ මධ්‍යස්ථානය ලබා දෙන දත්තවලට අනුව, පසුගිය මාස 03 ක කාලය තුළ ලියාපදිංචි වූ අලාභ වූ ණය ප්‍රමාණය සියයට 50 කින් පමණ ඉහළ ගොස් තිබේ. 2026 තෙවන ත්‍රෛමාසිකය වන විට මෙලෙස අලුතින් ලියාපදිංචි වූ අලාභ ණය කළඹවල වටිනාකම යුවාන් බිලියන 148.1 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 22.2 ක්) දක්වා ඉහළ ගොස් ඇත. එම සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 35.2 ක්ම ණය කාඩ්පත් හිඟ මුදල් වන අතර, එය තනි කාණ්ඩයක් ලෙස වාර්තා වූ විශාලතම ණය ප්‍රමාණයයි.

බොහෝ ණය දෙන්නන් පවසන්නේ මෙලෙස ණය ගෙවීම පැහැර හැර ඇති ණය කාඩ්පත් හිමියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 40 ත් 50 ත් අතර වන බවයි. Ping An Bank වැනි ඇතැම් ආයතන මෙම ණයගැතියන් සරලවම "මධ්‍යම වයසේ පසුවන්නන්" ලෙස හඳුන්වා දී ඇත.

විශ්ලේෂකයන් සහ බැංකු ක්ෂේත්‍රයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙය ශීඝ්‍රයෙන් වර්ධනය වන ප්‍රවණතාවක කොටසක් බවයි. එහිදී වැඩිම ණය අවදානමක් ගෙන දෙන්නේ මධ්‍යම වයසේ ණය කාඩ්පත් හිමියන් විසිනි. මෙම තත්ත්වය, දීර්ඝ කාලයක සිට තරුණ පිරිස් අතර ණය කාඩ්පත් වාරික පැහැර හැරීම් බහුලව දක්නට ලැබෙන ඇමරිකා එක්සත් ජනපදයේ තත්ත්වයට සම්පූර්ණයෙන්ම පටහැනි එකකි.