චීනයේ සැබෑ රැකියා විරහිතභාවයේ ප්‍රතිශතය සියයට 10.2 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයෙකු අනාවරණය කරයි.

මෙය චීන කොමියුනිස්ට් පාලන තන්ත්‍රය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති සියයට 5 ක ප්‍රතිශතය මෙන් දෙගුණයක අගයකි.

සියයට 10 ක රැකියා විරහිතභාවයක් යනු මිලියන 48 කට ආසන්න පිරිසකට රැකියා අහිමි වී ඇති බවයි.

මෙය ස්පාඤ්ඤයේ හෝ ආර්ජන්ටිනාවේ සමස්ත ජනගහනයටත් වඩා වැඩි සංඛ්‍යාවකි.

එමෙන්ම, ග්‍රාමීය ප්‍රදේශවල රැකියා විරහිත පුද්ගලයන් මෙම ගණනය කිරීම්වලට කිසිසේත්ම ඇතුළත් නොවන බැවින්, චීනයේ සැබෑ රැකියා විරහිතභාවයේ ප්‍රමාණය මීටත් වඩා ඉහළ විය හැකි බව පෙන්වා දෙනු ලැබෙයි.

ට්සිංහුවා විශ්වවිද්‍යාලයේ චීන හා ලෝක ආර්ථික විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලී ඩාඕකුයි විසින් රෙන්මින් විශ්වවිද්‍යාලය සංවිධානය කළ අන්තර්ජාල සම්මන්ත්‍රණයකදී මෙම තොරතුරු අනාවරණය කර ඇත. ලී ඩාඕකුයි මහතා චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන්ගේ සහ එරට මහ බැංකුවේ දීර්ඝ කාලීන උපදේශකයෙකු ලෙසද කටයුතු කර තිබේ.