චීන සැපයුම්කරුවන් මත දැඩි ලෙස යැපීම යුරෝපා සංගමයේ නිදහසට සහ ස්වෛරීභාවයට මහත් තර්ජනයක් වන බවට තායිවාන විදේශ අමාත්‍ය ලින් චියා-ලුන්ග් යුරෝපා සංගමයට අනතුරු අඟවා සිටී.

චීනය සමඟ වෙළඳ සබඳතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බ්‍රසල්ස් සමුළුවට පෙර, පෝලන්තයේ පැවැති විශේෂ හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

චීනය සමඟ පවතින විශාල වෙළඳ පරතරය අඩු කරගැනීමට සහ සංවේදී ක්ෂේත්‍රයන්හිදී චීනය මත අධික ලෙස යැපීමෙන් සිදුවන අවදානම් අවම කරගැනීමට බ්‍රසල්ස් පාලනය උත්සාහ කරමින් සිටී. ඒ අනුව, බ්‍රහස්පතින්දා ආරම්භ වන යුරෝපා සංගම් නායක සමුළුවේ ප්‍රධාන මාතෘකාව ලෙස චීනය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

වෝර්සෝ ආරක්ෂක සමුළුවේදී අදහස් දක්වමින් තායිවාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, චීනයේ ඒකාධිපති මතවාදය යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ නොගැලපෙන බවයි. එබැවින් චීනය මත යැපීම යනු හුදෙක් ආර්ථික අවදානමක් පමණක් නොව, එය යුරෝපීය නිදහසට සහ ස්වෛරීභාවයටම එල්ල වන සෘජු තර්ජනයක් බව ද ඔහු පැවසුවේය,

තවද, සැපයුම් දාමයන් හරහා පාලනය වන යුරෝපයක් යනු තමන්ගේ නිදහසෙන් කොටසක් පාවා දුන් යුරෝපයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.