ජපාන අග්රාමාත්ය සනායි ටකායිචි එරට ප්රමුඛ පෙළේ සමාගම්වල විධායක නිලධාරීන් පිරිසක් ද සමඟින් ලබන ජූලි මාසයේදී ඉන්දියාවේ ඇසෑම් ප්රාන්තයේ නිල සංචාරයක නිරත වීමට බොහෝ දුරට ඉඩ ඇති බව Nikkei Asia පුවත් සේවය වාර්තා කරයි.
මෙම සංචාරයේදී ජපාන දූත පිරිසේ ප්රධාන අවධානය ඇසෑම් ප්රාන්තයේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම, කාර්මික සහයෝගීතාව සහ සැපයුම් දාම හවුල්කාරිත්වයන් ශක්තිමත් කරගැනීම කෙරෙහි යොමුවනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
පසුගිය ජූනි 13 වැනිදා ඇසෑම් ප්රාන්ත මහ ඇමැති හිමන්ත බිස්වා සර්මා ප්රකාශ කර තිබුණේ, පැමිණෙන රාජ්ය තාන්ත්රිකයා කවුරුන්දැයි නිල වශයෙන් අනාවරණය නොකරමින්, ලබන මාසයේදී ලොව බලගතු ගෝලීය නායකයෙකු පිළිගැනීමට තම ප්රාන්තය සූදානම් වන බවයි.
මෙම සංචාරය ස්ථිර වුවහොත්, එය 2025 ඔක්තෝබර් මාසයේදී ධුරයට පත්වීමෙන් පසු ටකායිචි අගමැතිනිය ඉන්දියාවේ නිරත වන පළමු නිල සංචාරය වනු ඇත.
මෙම දූත පිරිසට ප්රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන සුසුකි (Suzuki Motor), ඉටෝචු (Itochu) වෙළෙඳ සමාගම සහ ටොයෝටා සමාගමේ වෙළෙඳ අංශය වන ටොයෝටා ට්සුෂෝ (Toyota Tsusho) යන ආයතන ඇතුළත් විය හැකි බවත්, ඔවුන්ගෙන් ඇතැම් පාර්ශවයන් නව වාණිජ ගිවිසුම්වලට අත්සන් තැබීමට සැලසුම් කර ඇති බවත් එම වාර්තාව වැඩිදුරටත් පවසයි.




