හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඇමෙරිකානු හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් බිම හෙළීමට ඉරානය කටයුතු කළ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කිරීමත් සමඟ, ඇමෙරිකානු හමුදාව ඉරානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා.
ඇමෙරිකානු මධ්‍යම අණදෙන බලකාය නිවේදනය කළේ, මෙම ප්‍රහාර මාලාව ඉරානයේ අසාධාරණ ආක්‍රමණශීලී ක්‍රියාවන්ට එරෙහිව එල්ල කරන ලද සාධාරණ සහ සමානුපාතික ප්‍රතිචාරයක් බවයි.
ඇමෙරිකානු වෙලාවෙන් ඊයේ පස්වරු 5.00 ට පමණ මෙම ප්‍රහාර මාලාව ආරම්භ වී ඇති අතර, පර්සියානු ගල්ෆ් කලාපයට සහ හෝමුස් සමුද්‍ර සන්ධියට මායිම් වූ ඉරාන වෙරළ තීරයෙන් ප්‍රබල පිපිරීම් හඬවල් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් බිම හෙළා ඇති බව පැවසෙන්නේ ඇමෙරිකානු හමුදාවට අයත් ඇපාචි වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක්.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය ඉරානය විසින් හිතාමතාම සිදු කළ එකක්ද යන්න පිළිබඳව මෙතෙක් ස්ථිර නිගමනයකට පැමිණ නැති බවයි ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් පවසන්නේ.
යානය බිම හෙළීමෙන් පසු එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා ඇමෙරිකානු නාවික හමුදාවට අයත්ස්වයංක්රීය මුහුදු ඩ්‍රෝන් යානයක් මඟින් නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා.
ඇමෙරිකානු හමුදාව මෙහෙයුමක් සඳහා මෙවැනි තාක්ෂණික යානයක් භාවිතා කළ බව ප්‍රසිද්ධියේ තහවුරු කළ පළමු අවස්ථාව ද මෙයයි.
මේ සම්බන්ධයෙන් සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ගුවන් නියමුවන් දෙදෙනාම නිරුපද්‍රිතව පසුවන නමුත්, තම රටට එල්ල වූ මෙම ප්‍රහාරයට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දැක්විය යුතු බවයි.
මේ අතර හෙලිකොප්ටර් යානය බිම හෙළීමේ වගකීම ඉරානය විසින් නිල වශයෙන් භාරගෙන නොමැති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ.




