අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද මෙහෙයුම් තාවකාලිකව නතර කරන ලෙස එරට සෙනෙට් මණ්ඩලය යෝජනාවක් සම්මත කර තිබෙනවා.

මෙම යෝජනාව වැඩි ඡන්ද දෙකකින් සෙනෙට් මණ්ඩලයේදී සම්මත වූ බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ.

විශේෂත්වය වන්නේ පාලක රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකු ද විපක්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්ව යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමයි.

මෙමඟින් ජනාධිපතිවරයාට ඉදිරියේදී කිසිදු මිලිටරි ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කෙරෙනවා.

කෙසේ වෙතත්, මෙම යෝජනාව නීතිමය වශයෙන් ජනාධිපතිවරයාට බලපෑමක් කළ නොහැකි සංකේතාත්මක පියවරක් පමණක් බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.

මාස පහක් තිස්සේ ඇදී යන යුද්ධය හේතුවෙන් ලෝකයේ සෙසු රටවල මෙන්ම අමෙරිකාවේ තුළ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඒ නිසා එරට ජනතාව තුළද පවතින්නේ යුද්ධයට එරෙහි ආකල්පයක්.

මේ අතර, ඉරානය සහ අමෙරිකානු අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමට අනුව දෙරටේම ජනාධිපතිවරුන් පසුගිය සතියේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා.

ඒ අනුව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නතර කිරීම පිළිබඳව ඉදිරි දින 60 ඇතුළත පුළුල් මට්ටමේ සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.