නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය අසලදී ටිබෙට් ජාතිකයෙකු සිරුරට ගිනි තබා ගැනීමෙන් මියගොස් ඇති බව නිව්යෝර්ක් පොලිසිය සහ ටිබෙට් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසයි.
මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න හෝ මේ සඳහා හේතුව කුමක්ද යන්න බලධාරීන් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද, විදේශගතව සිටින ටිබෙට් සංවිධාන පවසන්නේ මෙලෙස ස්වයං-ආත්ම පරිත්‍යාගයෙන් මියගොස් ඇත්තේ ටිබෙට් නිදහස සහ එකමුතුකම වෙනුවෙන් හඬ නැඟූ ක්‍රියාකාරිකයෙකු වන ලොබ්ගා රන්ග්සෙන් නමැත්තා බවයි.
චීනය විසින් මෑතකදී හඳුන්වා දුන් නව "ජාතික එකමුතු පනත" බලාත්මක කර දින කිහිපයකට පසුව මෙම සිදුවීම වාර්තා වී ඇත. චීනය පවසන්නේ මෙම නීතිය මඟින් රට තුළ වෙසෙන විවිධ ජනකොටස් අතර පොදු ජාතික අනන්‍යතාවක් ගොඩනැඟීමට අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත්, මෙමඟින් ජාතික එකමුතුකමට හානි කරන බවට චෝදනා කරමින් චීනයෙන් පිටත සිටින පුද්ගලයින් සහ සංවිධාන ඉලක්ක කිරීමට බීජිං පාලනයට වැඩි බලයක් ලැබෙන බව පවසමින් ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය මෙම නීතිය දැඩි ලෙස විවේචනය කර තිබේ.
ටිබෙට් වැසියන්ගේ දේශපාලන අරගලය තුළ සිරුරට ගිනි තබාගෙන විරෝධය පෑම වඩාත් ප්‍රබල සංකේතාත්මක විරෝධතා ක්‍රමයක් බවට පත්ව ඇත. ටිබෙට් වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධානයකට අනුව, 2009 සහ 2022 වසර අතර කාලය තුළ ටිබෙට් වැසියන් 150කට අධික පිරිසක් සිරුරට ගිනි තබාගෙන විරෝධය පා ඇති අතර, ඉන් සුළු පිරිසක් චීනයෙන් බැහැර වෙනත් රටවලදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.




