ෆ්ලයිඩුබායි හි FZ1073 ගුවන් යානය තුළ ඇති වූ නොසන්සුන්තාවයකදී තුවාල ලැබූ කපිතාන් ස්මිට් මච්ඡාර්ගේ සුවදුක් විමසීම සඳහා ඩුබායි හි ඔටුන්න හිමි හාම්දාන් බින් මොහොමඩ් බින් රාෂිඩ් අල් මක්තුම් කුමරු එම ගුවන් නියමුවා ප්රතිකාර ලබමින් සිටින රෝහල වෙත පැමිණියේය.
ඩුබායි ජාත්යන්තර ගුවන්තොටුපොළේ සිට ටෙල් අවීව් දක්වා පියාසර කරමින් තිබූ බෝයිං 737 MAX 8 වර්ගයේ මෙම ගුවන් යානය, සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සෞදි අරාබියේ තබූක් නගරය වෙත වෙනත් දිශාවකට යොමු කිරීමට සිදුවිය. එහිදී මගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට නියමුවා දැක්වූ කැපවීම, වගකීම් සහගත බව සහ ධෛර්යය හාම්දාන් කුමරුගේ ඇගයීමට ලක්විය.
කපිතාන් ස්මිට් මච්ඡාර් උසස්ම මට්ටමේ ධෛර්යයක්, වගකීම් සහගත බවක් මෙන්ම මිනිස් ජීවිත කෙරෙහි ඉහළම සැලකිල්ලක් පෙන්වූ බව කුමරු සඳහන් කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්යයේ නායකත්වය වෙනුවෙන් නියමුවාට සිය ප්රශංසාව පළ කළ ඔහු, ස්මිත් මච්ඡාර් රටටම ආඩම්බරයක් බවද පැවසුවේය.
"ඔහු අපගේ කණ්ඩායමේ, අපගේ ජාතික කතාන්දරයේ සහ ආදරය, සෙත සහ ජීවිතය පෙරදැරි කරගත් එක්සත් අරාබි එමීර් රාජ්යයේ මානුෂීය අත්දැකීමේ කොටස්කරුවෙකු වීම ගැන අප ආඩම්බර වෙනවා," යනුවෙන් හාම්දාන් කුමරු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම නිල සංචාරය සඳහා ඩුබායි සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති මෙන්ම එමිරේට්ස් සමූහයේ සභාපති සහ ප්රධාන විධායක අහමඩ් බින් සයීඩ් අල් මක්තුම් කුමරුද එක්ව සිටියහ.



