තායිවානයට නැගෙනහිරින් පිහිටි මුහුදු කලාපයේ චීන වෙරළාරක්ෂක බලකාය විසින් සිදුකරනු ලබන මුරසංචාර දැඩි ප්රකෝපකාරී ක්‍රියාවක් බව තායිවාන ආරක්ෂක අමාත්‍ය වෙලින්ටන් කූ ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා තායිවාන හමුදාව එරට වෙරළාරක්ෂක බලකාය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.
ප්රජාතන්ත්රවාදී පාලනයක් සහිත තායිවානය තමන්ගේම භූමියක් ලෙස සලකන චීනය, පසුගිය මාසයේදී ජපානය සහ පිලිපීනය විසින් ගනු ලැබූ තීරණයක් හේතුවෙන් දැඩි ලෙස කෝපයට පත් විය.
ඒ, ජපානය සහ පිලිපීනය ඔවුන්ගේ මුහුදු සීමාවන් නීත්‍යානුකූලව නිර්ණය කිරීම සඳහා නිල සාකච්ඡා ආරම්භ කරන බව පැවසීමත් සමඟය.
මෙම සීමාවන් තායිවානයට ඔබ්බෙන් වූ මුහුදු කලාපයට ද සම්බන්ධ වන බව චීනයේ අදහසයි.
මීට ප්‍රතිචාර වශයෙන් ජපාන සහ පිලිපීන නිවේදනය ඉලක්ක කරගනිමින්, තායිවානයට නැගෙනහිරින් පිහිටි මුහුදු කලාපයේ "සුවිශේෂී සාගර ගමනාගමන නීති බලාත්මක කිරීමේ මෙහෙයුමක්" සඳහා නැව් යවා ඇති බව පසුගිය සෙනසුරාදා රාත්‍රියේ චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත්, තායිවාන වෙරළාරක්ෂක බලකාය ද වහාම ක්‍රියාත්මක වී චීන නැව් වෙත අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා තම නෞකා පිටත් කර හැරියේය.
ඒ අනුව, එම චීන නැව් තායිවානයට අයත් සීමා පනවා ඇති මුහුදු කලාපයෙන් "පලවා හැරීමට" සමත් වූ බව තායිවානය ප්‍රකාශ කළේය.
"පළමුවෙන්ම මෙය පැහැදිලි ප්රකෝපකාරී ක්‍රියාවක්, දෙවනුව මෙය මානසික යුද්ධයක් " ආරක්ෂක අමාත්‍ය කූ එරට පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඔවුන් උත්සාහ කරන්නේ මේ ප්‍රදේශය පුරා විශාල මකුළු දැලක් එලනවා වගේ, මුලින්ම නැගෙනහිර මුහුදු කලාපය ඔවුන්ගේ අණසකට යටත් කරගන්නයි. මෙය අපේ ජාතික ස්වෛරීභාවයට එල්ල වූ බරපතළ අපහාසයක්," යැයි ද ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.



