තායිවානයට අයත් මුහුදු සීමාවන්හි බලය තමන් සතු බව පෙන්වීමට චීනය දරන අසත්‍ය උත්සාහයන් කිසිසේත්ම නොඉවසන බව තායිවාන වෙරළාරක්ෂක බලකාය අවධාරණය කරයි.
තම මුහුදු සීමාවට අභියෝග කරන ඕනෑම පාර්ශවයක් පලවා හැරීමට කටයුතු කරන බවට ඔවුහු ප්‍රතිඥා දෙති.
තායිවානය මෙලෙස දැඩි ස්ථාවරයකට පැමිණියේ චීනය විසින් තායිවානයේ නැගෙනහිර මුහුදු තීරයේ සිදුකළ විශේෂ මුර සංචාරයක් අවසන් කිරීමෙන් පසුවය.
ප්රජාතන්ත්රවාදී පාලනයක් සහිත තායිවානය තම අයිතිවාසිකම් කලාපයක් ලෙස සලකන චීනය, පසුගිය මාසයේදී ජපානය සහ පිලිපීනය විසින් ඔවුන්ගේ සාගර සීමාවන් පිළිබඳව නිල සාකච්ඡා ආරම්භ කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ දැඩි ලෙස කෝපයට පත් විය.
ඊට හේතුව එම සාකච්ඡාවලට තායිවානයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවන් ද ඇතුළත් වීමයි.
ජපානයේ සහ පිලිපීනයේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, "විශේෂ මුහුදු ගමනාගමන නීති බලාත්මක කිරීමේ මෙහෙයුමක්" ක්‍රියාත්මක කිරීමට සහ තායිවානයට නැගෙනහිරින් පිහිටි මුහුදු සීමාවේ නෞකා පරීක්ෂා කිරීමට චීන නැව් පිටත් කර යැවූ බව පසුගිය සෙනසුරාදා චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය බදාදා රාත්‍රියේ චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේ එම මුර සංචාර කටයුතු අවසන් කර ඇති බවයි.
එහිදී එම කලාපය හරහා ගමන් කළ නෞකා 198ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, නීති උල්ලංඝනය කළ නෞකා තුනක අඩුපාඩු සකස් කිරීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම, සාගර දත්ත සමීක්ෂණයක් සිදු කිරීමට සහ මුහුදු පතුලේ ඇති සන්නිවේදන කේබල් පිහිටා තිබෙන ප්‍රදේශවල මුර සංචාරය කිරීමට ද චීන ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
කෙසේ වෙතත්, තායිවාන වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කරන්නේ බීජිං පාලනයට එම මුහුදු සීමාවන් තුළ කිසිදු නීතිමය බලයක් නොමැති බවයි.
චීන නැව් එම මුහුදු සීමාවේ පෙනී සිටින සෑම අවස්ථාවකදීම, තායිවාන නෞකා උපයෝගී කරගනිමින් ඒවා බලහත්කාරයෙන් පලවා හැරීමට කටයුතු කරන බවත්, මුහුදු ගමනාගමනයේ නිදහස සහ ආරක්ෂාව අඛණ්ඩව තහවුරු කරන බවත් තායිවානය වැඩිදුරටත් කියා සිටියා.




