නිරිතදිග පකිස්ථානයේ අධිවේගී මාර්ගයක ධාවනය වූ මගී බස් රථයක් පාලනයෙන් ගිලිහී ගොස් ගැඹුරු ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිලධාරීහු පවසති.

"ක්වෙටා නුවර සිට පෙෂාවර් දක්වා ධාවනය වූ මගී බස් රථයක් මෙලෙස කඳුකර ප්‍රදේශයක් වන ධානා සාර් හිදී ගැඹුරු ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

බස් රථය ප්‍රපාතයේ අඩි 70ත් 80ත් (මීටර් 21-24) අතර ප්‍රමාණයක පහළට ඇද වැටී ඇත" යනුවෙන් සොබ් දිස්ත්‍රික් හදිසි අනතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී සනාඋල්ලා ෂෙරානි ප්‍රංශ පුවත් ඒජන්සිය (AFP) වෙත ප්‍රකාශ කළේය.

අධික වේගයෙන් ධාවනය වූ මෙම බස් රථය සිකුරාදා අලුයම පාලනයෙන් මිදී, බලොචිස්ථාන සහ කයිබර් පක්තුන්ක්වා පළාත් මායිම ආසන්නයේ පිහිටි දුෂ්කර කඳුකර ප්‍රදේශයක පිහිටි ගල් සහිත ප්‍රපාතයට පෙරළී ඇති බව බලොචිස්ථාන රජයේ ප්‍රකාශක ෂහීඩ් රින්ඩ් ද සනාථ කර සිටියේය.

නිලධාරීන් දෙදෙනාම තහවුරු කළේ අනතුරින් පුද්ගලයන් 40 දෙනෙකු මියගොස් අවම වශයෙන් තවත් අට දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.

බස් රථය අනතුරට මුහුණ දෙන අවස්ථාවේදී එහි ධාරිතාවට වඩා අධික මගීන් පිරිසක් සිට ඇති අතර, ඊට හේතුවී ඇත්තේ අතරමඟදී කාර්මික දෝෂයකට ලක්ව තිබූ වෙනත් බස් රථයක මගීන් පිරිසක් ද මෙම රථයට නංවාගෙන තිබීමයි.

පොලිස් නිලධාරියෙකු වන මොහොමඩ් නසීර් ජර්මන් පුවත් ඒජන්සිය වෙත පවසා සිටියේ අධික වේගය මෙම අනතුරට ප්‍රධානතම හේතුව විය හැකි බවයි.

කෙසේ වෙතත් අනතුරට හේතුවී ඇති නිවැරදිම කරුණ අනාවරණය කර ගැනීම සඳහා මේ වන විටත් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.