පකිස්ථානයේ වයඹදිග ඛයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ මුස්ලිම් පල්ලියක් අසල සිකුරාදා යාච්ඤා මෙහෙය පැවැත්වෙන අතරතුර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් එක් සිවිල් වැසියෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම පිපිරීම සිදුව ඇත්තේ ලක්කි මර්වාත් දිස්ත්‍රික්කයේ කයිරෝ කෙල් ප්‍රදේශයේ, බැතිමතුන් සිකුරාදා සාමූහික යාච්ඤාව සඳහා රැස්ව සිටි ස්ථානයකදීය.

නම හෙළි කිරීමට අකමැති වූ පොලිස් නිලධාරියෙකු පැවසුවේ, ප්‍රහාරකයා මුස්ලිම් පල්ලිය තුළට ඇතුළු වීමට උත්සාහ කර ඇති නමුත් එය අසාර්ථක වීම හේතුවෙන් පල්ලි ගොඩනැගිල්ලෙන් පිටතදී බෝම්බය පුපුරුවා හැර ඇති බව මූලික විමර්ශනවලින් පෙනී යන බවයි. තුවාල ලැබූවන් වහාම අසල පිහිටි රෝහලක් වෙත ඇතුළත් කර තිබේ.

ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශය වටලා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙතෙක් කිසිදු කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.

ඛයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ දකුණු දිස්ත්‍රික්කයක් වන ලක්කි මර්වාත්හි මෑත වසරවලදී සන්නද්ධ කල්ලිවල ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති අතර, එහිදී පොලිසිය සහ ආරක්ෂක අංශ නිරන්තරයෙන්ම ඉලක්ක බවට පත්වේ. පකිස්ථානය පුරා, විශේෂයෙන්ම ඛයිබර් පක්තුන්ක්වා සහ නිරිතදිග බලුකිස්ථාන ප්‍රාන්තවල මෙලෙස සන්නද්ධ ප්‍රහාර නැවත හිස ඔසවමින් පවතින අතර, එය මැඩපැවැත්වීම සඳහා බලධාරීන් විසින් අඛණ්ඩ ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.