දකුණු චීන මුහුදේ පිහිටි ස්කාබරෝ ෂෝල් (Scarborough Shoal) ප්රදේශයේ ස්වාභාවික රක්ෂිතයක් ප්රකාශයට පත් කරමින්, එහි පිලිපීන ධීවරයන්ගේ පැමිණීම තහනම් කිරීමට චීනය පියවර ගෙන තිබේ.
පරිසර ආරක්ෂණය වැනි සැකකටයුතු හේතු ඉදිරිපත් කරමින් චීනය මෙලෙස සිය අයිතිවාසිකම් පෑමට උත්සාහ කරන බවට ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනා කළේය.
Xinhua පුවත් සේවයට අනුව, පූර්ව අනුමැතියකින් තොරව මසුන් ඇල්ලීම සහ සහ පතල් කැපීම තහනම් කරමින් චීනය මෑත දිනවල එම ප්රදේශයේ පාලනය සඳහා නව නීති පනවන ලදී. එම පියවර ගැනීමට පෙර සිටම චීන වෙරළාරක්ෂක බලකාය සහ පිලිපීන ධීවර නෞකා අතර ප්රචණ්ඩකාරී ගැටුම් වර්ධනය වෙමින් පැවතිණි.
පිලිපීන වෙරළ තීරයේ සිට කිලෝමීටර 245 කටත් වඩා අඩු දුරකින් පිහිටි මෙම ප්රදේශය, 2012 වසරේදී පිලිපීනය සමඟ ඇති වූ මතභේදාත්මක තත්ත්වයකින් පසුව චීනය විසින් සිය සෘජු පාලනයට නතු කර ගන්නා ලදී. කෙසේ වෙතත්, පිලිපීන රජය අඛණ්ඩව කියා සිටින්නේ මෙම ප්රදේශය සිය පූර්ණ භූමියට අයත් බවයි.
“මෙය සිය අසල්වැසි රටවල අයිතිවාසිකම් අහිමි කරමින්, බලපෑම් සහ සැකකටයුතු පරිසර හා නීතිමය හේතු උපයෝගී කරගනිමින් දකුණු චීන මුහුදේ සිය අයිතිවාසිකම් තහවුරු කරගැනීමට චීනය දරන තවත් එක් පාර්ශ්වික උත්සාහයක්,” යැයි ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තු ප්රකාශක ටොමී පිගොට් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
චීනය මෙලෙස ස්වාභාවික රක්ෂිත නීති බලාත්මක කිරීම සමස්ත ඉන්දු-පැසිෆික් කලාපයේම ස්ථාවරත්වයට තර්ජනයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජූලි මාසයේදී පිලිපීන නෞකා සහ චීන වෙරළාරක්ෂක බලකාය අතර ගැටුම් කිහිපයක් සිදු වීමෙන් පසුව චීනය විසින් මෙම නව නීති ප්රකාශයට පත් කරන ලදී. ජූලි 24 වන දින ස්කාබරෝ ෂෝල් අසලදී පිලිපීන වෙරළාරක්ෂක සහ ධීවර කාර්යාංශයේ නෞකා වෙත චීන වෙරළාරක්ෂක බලකාය විසින් අධි පීඩන ජල ප්රහාර එල්ල කළ බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය ප්රකාශ කළේය.




