ප්‍රංශය පුරා පැවැත්වෙන පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා මර්දනය  සඳහා රජය ගෙන ඇති ආරක්ෂක විධිවිධාන අතිශය අසාධාරණ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂඥයන් පිරිසක් පෙන්වා දෙනවා.

බොහෝ බාලවයස්කරුවන් ද ඇතුළුව දහස් ගණනක පිරිසක් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම හරහා ප්‍රකාශනයේ නිදහස මෙන්ම සාමකාමීව එක්රැස්වීමේ අයිතිය දැඩි ලෙස කප්පාදු වී ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

සාමකාමී රැස්වීම් පිළිබඳ විශේෂ වාර්තාකරු ජිනා රොමෙරෝ සහ සංස්කෘතික හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥ ෆරිඩා ෂහීඩ් ඇතුළු විශේෂඥයන් සිව්දෙනෙකු මෙම ප්‍රකාශයට එකඟ වී තිබෙනවා.

ප්‍රතිපත්තිමය සාකච්ඡා සඳහා ඔක්තෝබර් මාසයේදී බලධාරීන් යම් යම් පියවර ගත්තද, විරෝධතා සම්බන්ධයෙන් දැඩි ලෙස ආරක්ෂක අංශ මත පමණක් යැපීම හේතුවෙන් විරෝධතා මතු වීමට මූලික හේතු වූ කරුණු යටපත් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ප්‍රංශයේ උසස් පාසල්වල පවතින අබලන් ගොඩනැගිලි, අධික ලෙස සිසුන් පිරී ඉතිරී ගිය පන්ති කාමර සහ ගුරු  ගැටලු මුල් කරගනිමින් සැප්තැම්බර් මැද භාගයේ සිට සිසු විරෝධතා ආරම්භ වුණා.

පසුව ජීවන වියදම ඉහළ යාමට එරෙහිව රටපුරා පැවැති උද්ඝෝෂණ සමඟ මෙම සිසු විරෝධතාද එකතු වීම නිසා ඇතැම් ප්‍රදේශවල කලබල සහ කොල්ලකෑම් වාර්තා වුණා.

මේ අතර පසුගිය සෙනසුරාදා රට පුරා පැවැති විරෝධතා සඳහා 410,000 ක පිරිසක් එක්වූ අතර, ඒවා පාලනය කිරීම සඳහා ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ආරක්ෂක අංශ 70,000 ක් යොදවා පුද්ගලයන් දහසක් පමණ  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට සතියකට පෙර මහජන දේපළවලට අලාභහානි සිදු කිරීම සහ ව්‍යාපාරික ස්ථාන කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් 2,700 ක් අත්අඩංගුවට ගත් අතර, අනාගතයේදී එවැනි නොසන්සුන්තා ඇතිවීම වැළැක්වීම සඳහා අතිශයින් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නුනෙස් පවසා තිබෙනවා.