ප්‍රාන්ත මැතිවරණ කිහිපයකින්ම තම පක්ෂය දැවැන්ත පරාජයක් ලැබුවද, තමන් කිසිසේත්ම ධුරයෙන් ඉවත් නොවන බව ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රික් මෙර්ස් පවසනවා.

මැක්ලන්බර්ග් - වෝපොමර්න් ප්‍රාන්තයේ පැවැති මැතිවරණයෙන් චාන්සලර්වරයාගේ පාලක CDU පක්ෂයට හිමිව ඇත්තේ සියයට 05ක අතිශය අඩු ඡන්ද ප්‍රතිශතයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය ඔවුන්ගේ ඉතිහාසයේ වාර්තා වූ අඩුම ඡන්ද ප්‍රතිශතය වන අතර, ඒ හේතුවෙන් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ අසුන් පවා අහිමිවීමේ දැඩි අවදානමකට ඔවුන් මුහුණ දී සිටිනවා.

එම ප්‍රාන්තයේ ප්‍රමුඛතාව තහවුරු කර ගැනීමට අන්ත දක්ෂිනාංශික AFD පක්ෂය සමත්ව ඇති අතර, බර්ලින් අගනුවර බලය තහවුරු කරගෙන ඇත්තේ වාමාංශික ‘ඩී ලින්කේ‘ පක්ෂයයි.

ලැබූ පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජර්මන් චාන්සලර්වරයා සඳහන් කළේ, මෙය තම පක්ෂයට සිදුවූ විශාල විනාශයක් බවයි.

කෙසේවෙතත්, තමන් ධුරයෙන් ඉවත් නොවන බවත්, රට ඉදිරියට ගෙන යාම සඳහා ආරම්භ කළ ආර්ථික, බදු සහ සුභසාධන ප්‍රතිසංස්කරණ කිසිසේත්ම නතර නොකරන බවත් බර්ලින් නුවරදී මාධ්‍ය ඇමතූ ජර්මන් චාන්සලර්වරයා අවධාරණය කළා.

එමෙන්ම, සමාජය තුළ ව්‍යාප්ත වන ඒකාධිපති මතවාදයන්ට එරෙහිව ඇති එකම ප්‍රතිඖෂධය මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ බවයි චාන්සලර් මෙර්ස් පවසා ඇත්තේ.

තම පක්ෂය හමුවේ එල්ල වන දැඩි දේශපාලන බලපෑම් හමුවේ ජර්මන් චාන්සලර්වරයා සිය ඉදිරි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් සංචාරය පවා අවලංගු කර තිබෙනවා.