පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණ සීමා පටු කරමින් එරට රජය විසින් අලුතින් පනවන ලද රෙගුලාසි මාලාවක් හේතුවෙන් මාධ්‍ය ක්ෂේත්රය තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
විදේශීය මාධ්‍ය ආයතනවල සේවය කරන පාකිස්තාන ජාතිකයන් ඇතුළු සියලුම මාධ්‍යවේදීන් ඉස්ලාමාබාද්, කරච්චි සහ ලාහෝර් යන ප්‍රධාන නගර තුන හැර වෙනත් ඕනෑම ප්‍රදේශයක සිට පුවත් වාර්තා කරන්නේ නම්, ඊට පෙර රජයේ පූර්ව අනුමැතිය ලබා ගැනීම මෙමගින් අනිවාර්ය කර ඇත.
ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180 අතුරින් 153 වන ස්ථානයේ පසුවන පාකිස්තානය තුළ බලාත්මක කළ මෙම නව නීති මගින්, එරට බහුතර ප්‍රදේශයක සිදුවන සිදුවීම් පිළිබඳ ස්වාධීන වාර්තාකරණය සම්පූර්ණයෙන්ම පාහේ රාජ්‍ය බලධාරීන්ගේ පාලනයට යටත් වනු ඇතැයි මාධ්‍ය සංවිධාන පෙන්වා දෙයි.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරක මුස්තාෆා නවාස් කොකාර් සඳහන් කරන්නේ, දැනටමත් ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින මාධ්‍ය නිදහස තවදුරටත් හුස්ම හිර කර දැමීමට මෙම අලුත් මාර්ගෝපදේශ හේතු වන බවයි.
පාකිස්තානය තුළ දේශීය මාධ්‍ය නිරන්තරයෙන් දැඩි රාජ්‍ය පීඩනයකට ලක්වන පසුබිමක, ජනතාව විශ්වාසනීය සහ ස්වාධීන තොරතුරු ලබා ගැනීමට ජාත්‍යන්තර මාධ්‍ය වෙත යොමු වන බවත්, මෙවැනි තහංචි හමුවේ සමාජය තුළ අසත්‍ය සහ ව්‍යාජ පුවත් සීඝ්රයෙන් පැතිර යාමේ අවදානමක් මතුවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
කෙසේ වෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන පාකිස්තාන රජය ප්‍රකාශ කර සිටින්නේ ඉකුත් ඉරිදා හඳුන්වා දුන් 'විදේශීය මාධ්‍ය පහසුකම් සැලසීමේ මාර්ගෝපදේශ - 2026' හි අරමුණ මාධ්‍ය නිදහස සීමා කිරීම නොව, මාධ්‍යවේදීන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සහ වාර්තාකරණ කටයුතු පහසු කිරීම සඳහා වන "පරිපාලනමය යාන්ත්‍රණයක්" ස්ථාපිත කිරීම බවයි.




