පාකිස්තාන පාලිත කාශ්මීරයේ ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පීටර්බරෝ හි පදිංචිව සිටි 50 හැවිරිදි මොහොමඩ් අක්තාර් නැමැති අයෙකි. ජූනි 09 වැනිදා පාකිස්තාන ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයකදී ඔහුගේ පපුව ප්‍රදේශයට වෙඩි වැදීමෙන් මෙම මරණය සිදු වී ඇත.

ඉන්දියාව ද අයිතිවාසිකම් කියන මෙම කලාපය තුළ මැතිවරණ සංශෝධන ඉල්ලා ජනතාව විරෝධතාවල නිරත වෙමින් සිටි අතර, මියගිය අක්තාර් එම විරෝධතාවලට සම්බන්ධ නොවූ අයෙකු බව ඔහුගේ පවුලේ පිරිස් අවධාරණය කරති.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අක්තාර්ගේ ඥාති සොහොයුරෙකු වන මොහොමඩ් සාද්, 'ද ගාඩියන්' පුවත්පතට පවසා ඇත්තේ, "ඔහු විරෝධතාවලට සහභාගී වුණේ නැහැ. නමුත් ඒ මොහොතේ ඔහුගේ නිවස ආසන්නයේ විරෝධතාවක් පැවැත්වෙමින් තිබුණා. එදින ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාර අතරතුර ආ උණ්ඩයක් ඔහුගේ පපුවට වැදී තිබෙනවා," යනුවෙනි.

කෙසේ වෙතත්, කාශ්මීරයේ පිහිටි පොලිසිය වෙත මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පවා තමන්ට නොහැකි වූ බවත්, එමගින් තමන් ද ඉලක්කයක් වනු ඇතැයි පවුලේ පිරිස් බියෙන් පසුවන බවත් සාද් වැඩිදුරටත් සඳහන් කර ඇත.