පාකිස්තානයේ බන්ධනාගාරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව සිදුවන අමානුෂික සැලකිලි වහාම අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වධහිංසා පිළිබඳ විශේෂ වාර්තාකාරිනී ඇලිස් ජිල් එඩ්වර්ඩ්ස් පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටියි.

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස බල කරමින් ඔහුගේ පක්ෂය විසින් දීපව්‍යාප්ත විරෝධතා පාගමනක් සංවිධානය කරමින් පවතින පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වී ඇත.

එඩ්වර්ඩ්ස් පෙන්වා දෙන්නේ, පැය 24 පුරා ක්‍රියාත්මක සීසීටීවී කැමරා නිරීක්ෂණය යටතේ මාස 33 ක පමණ දීර්ඝ කාලයක් තිස්සේ ඉම්රාන් ඛාන් අතිශය හුදකලා බන්ධනාගාර කොන්දේසි යටතේ රඳවා තබා ඇති බවයි.

2022 වසරේදී පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවකින් බලයෙන් පහකෙරුණු ඉම්රාන් ඛාන්ට එරෙහිව දූෂණ, රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම සහ ත්‍රස්තවාදයට අදාළ චෝදනා ඇතුළු නඩු රැසක් පවරා ඇති අතර, වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ඔහු පසුවන්නේ සිරගතවයි. කෙසේ වෙතත්, මෙම සියලු චෝදනා දේශපාලන පළිගැනීම් බව ඉම්රාන් ඛාන් සහ ඔහුගේ ‘පාකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්’ (PTI) පක්ෂය ප්‍රකාශ කරයි.

"හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතා දැන් මාස 33 ක සිට කුඩා, ජනේල රහිත සිර මැදිරියක, පැය 24 පුරා ක්‍රියාත්මක සීසීටීවී නිරීක්ෂණය යටතේ සම්පූර්ණයෙන්ම වාගේ හුදකලා කර රඳවා සිටිනවා," යනුවෙන් ඇලිස් ජිල් එඩ්වර්ඩ්ස් සිය 'X' ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

සිරකරුවන්ගේ ගෞරවය සහ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් සම්පාදනය කර ඇති, එදිනෙදා භාවිතයේදී ‘මැන්ඩෙලා රීති’ ලෙස හැඳින්වෙන ‘සිරකරුවන්ට සැලකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති’ පද්ධතිය උපුටා දක්වමින් ඇය මෙම අදහස් පළ කර තිබේ.

එම රීතීන්ට අනුව, අර්ථවත් මානව සබඳතාවලින් තොරව දිනකට පැය 22 ක් හෝ ඊට වැඩි කාලයක් සිරකරුවෙකු තනිව රඳවා තැබීම හුදකලා සිරදඬුවමක් ලෙස අර්ථ දැක්වේ. දින 15 කට වඩා වැඩි කාලයක් පවතින දීර්ඝකාලීන හුදකලා සිරදඬුවම්, වධහිංසා හෝ අමානුෂික සහ අවමන්සහගත සැලකිලි ලෙස සැලකිය හැකි බැවින් ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.