සන්නද්ධ කොල්ලකරුවන් පිරිසක් පැමිණි වාහනයක් යැයි වරදවා වටහාගෙන පාකිස්තාන පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින්, තම පවුලේ පිරිස සමඟ ගමන් කරමින් සිටි නව හැවිරිදි බටහිර ඕස්ට්‍රේලියානු දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචිව සිටි හනියා අහමඩ් නමැති දැරියකි.
පාකිස්තානයේ චක්වාල් නගරයේදී මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ඇය සිය මව්පියන් සහ සහෝදරයා සමඟ කුලියට ගත් මෝටර් රථයකින් ගමන් කරමින් සිට ඇත.
දේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම වෙඩි තැබීමට සුළු මොහොතකට පෙර යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් මෙම පවුලේ පිරිස වටකර ගිනි අවි පෙන්වා තර්ජනය කර කොල්ලකා තිබේ.
කොල්ලකෑමෙන් පසු මෙම පවුලේ පිරිස මෝටර් රථයෙන් එම ස්ථානයෙන් පිටත්ව යද්දී, එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් මෙම මෝටර් රථයේ සිටින්නේ කොල්ලකරුවන් යැයි වරදවා වටහාගෙන ඇත.
එහිදී පොලිසිය රථයට දෙසට වෙඩි තබා ඇති අතර, ඉන් හනියා දැරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇයගේ පියා සහ 11 හැවිරිදි සහෝදරයා බරපතළ තුවාල ලබා තිබේ.
බටහිර ඕස්ට්‍රේලියාවේ පාකිස්තාන සංගමයේ ලේකම් ආසිම් චෞද්රි Channel 7 නාලිකාවට ප්‍රකාශ කර තිබුණේ, මෙම ඛේදවාචකය හේතුවෙන් එහි වෙසෙන සමස්ත දේශීය ප්‍රජාවම දැඩි කම්පනයට පත්ව ඇති බවයි.




