පෙනහැලි පිළිකාවක් වෙනුවෙන් සිදුකළ සැත්කමෙන් සති තුනකට පසුව 14 වන ලියෝ පාප් වහන්සේ ලතින් ඇමෙරිකානු සංචාරයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ලියෝ පාප් වහන්සේ පළමුව උරුගුවේ රාජ්‍ය වෙත ළගා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගුවන් යානය තුළදී මාධ්‍යවේදීන් ඇමතු පාප් වහන්සේ සඳහන් කර ඇත්තේ පසුගිය මාසයේ සිදුකළ පරික්ෂාවකදී පිළිකා ගෙඩියක් හඳුනාගැනීම නිසා මෙම සංචාරය පිළිබඳ යම් අවිශ්වාසයක් මතු වුවද, මෙම ගමන නියමිත පරිදි සිදුකිරීම පිළිබඳව තමන් දැඩි විශ්වාසයකින් සිටි බවයි.

වෛද්‍ය කණ්ඩායමේ විශිෂ්ට සේවය නිසා දැනට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද 71 හැවිරිදි පාප් වහන්සේ තහවුරු පවසා තිබෙනවා.

උන්වහන්සේගේ සැත්කම සාර්ථක වී ඇති අතර, පිළිකා තත්ත්වය ශරීරයේ අනෙකුත් කොටස් වෙත පැතිර ගොස් නොමැති බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

උරුගුවේ රාජ්‍යයේ මොන්ටෙවිඩියෝ නුවරට පැමිණි පාප් වහන්සේව පිළිගැනීමට විශාල ජනකායක් මාවත් දෙපස රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහිදී අදහස් දැක්වු උන්වහන්සේ කියා සිටියේ, විශ්වීය සෞඛ්‍ය රැකවරණය සෑම පුද්ගලයෙකුටම ලබාගැනීමට හැකිවිය යුතු බවයි.

තමන් ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර නිසා, නිසි වේලාවට රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව අසරණ වන දහස් සංඛ්‍යාත ජනතාව පිළිබඳව තමන්ට සිහිපත් වූ බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.