පවතින ආර්ථික අර්බුද හමුවේ බංග්ලාදේශයේ ඉදිරි ආර්ථික වර්ධනය පිළිබඳ පුරෝකථන සැලකිය යුතු ලෙස පහත හෙළීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පියවර ගෙන තිබේ.

ඒ අනුව 2026-27 වත්මන් මුදල් වර්ෂය සඳහා මීට පෙර සියයට 4.3 ක් ලෙස අපේක්ෂා කළ බංග්ලාදේශ ආර්ථික වර්ධනය, සියයට 3.2 දක්වා අඩුවනු ඇති බව IMF සංශෝධනය කර ඇත.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වාර්ෂික හමුවේදී නිකුත් කරන ලද "ලෝක ආර්ථික තත්ත්වය" පිළිබඳ නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ.

පසුගිය 2026 මුදල් වර්ෂයේදී සියයට 8.7 දක්වා පාලනය කරගැනීමට හැකිවූ බංග්ලාදේශයේ සාමාන්‍ය පාරිභෝගික මිල උද්ධමනය, මෙම මුදල් වර්ෂයේදී නැවතත් සියයට 10.9 දක්වා ඉහළ යනු ඇතැයි IMF අනතුරු අඟවයි.

බලශක්ති හිඟය, බැංකු පද්ධතියේ පවතින දුර්වලතා, මන්දගාමී ණය වර්ධනය සහ රාජ්‍ය මූල්‍ය සීමාකිරීම් හේතුවෙන් බංග්ලාදේශ ආර්ථිකය මෙලෙස අඛණ්ඩව සිව්වන වසරටත් පසුබෑමකට ලක්වෙමින් පවතී.

කෙසේ වෙතත්, දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව ඉදිරි මුදල් වර්ෂ දෙකෙහිදීම සියයට 7 ක ඉහළ වර්ධනයක් පවත්වා ගනිමින් ඉදිරියෙන්ම පසුවනු ඇතැයි පුරෝකතනය කර ඇත.