මැදපෙරදිග කලාපයේ නැවත උත්සන්න වන යුද ගැටුම් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සියයට 8 කින් පමණ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

​ඇමෙරිකාව සහ ඉරානය අතර පැවති තාවකාලික සටන් විරාම ගිවිසුම අවසන් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් ඉන් අනතුරුව ඉරාන ඉලක්ක වෙත අමෙරිකාව දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම සහ ඊට ඉරානය ප්‍රති ප්‍රහාර එල්ල කිරීමත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල මෙලෙස ඉහළ යාමට හේතු වී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.

ඉ​කූත් අඟහරුවාදා ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට ප්‍රහාර එල්ල කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු හමුදාව විසින් ඉරානයේ හමුදා ඉලක්ක අසූවකට වැඩි ප්‍රමාණයකට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව සටන් නැවැත්වීමේ ගිවිසුම අවසන් බවට ප්‍රකාශ කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ඊයේ දිනයේද ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවුවා.

එලෙස කෙරුණ අනතුරු ඇඟවීමෙන් පසුවද ඇමරිකාව ඉරාන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

එයට ප්‍රතිචාර දක්වමින් ඉරානයද බහරේනයේ සහ කුවේටයේ පිහිටි ඇමෙරිකානු යුද කඳවුරු වෙත නැවත ප්‍රහාර එල්ල කළා.

​මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය ද යළි වසා දැමූ බවටයි ඉරාන බලධාරීන් නිවේදනය කර ඇත්තේ.

ඒ අනුව එම මුහුදු සීමාවෙන් ගමන් ගන්නා ඕනෑම වාණිජ නෞකාවකට හමුදා ප්‍රහාර එල්ල කරන බවටයි ඉරානය අනතුරු අඟවා තිබෙනවා.

​මෙම තත්ත්වය හේතුවෙන් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79 යි ශත 76 ක් දක්වාත්, ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75 යි ශත 40 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම, ලෝකයේ ප්‍රමුඛ පෙළේ තෙල් පිරිපහදු සමාගම් මේ වන විට මැදපෙරදිග කලාපය වෙනුවට වෙනත් රටවලින් තෙල් මිලදී ගැනීමට විකල්ප මාර්ග සොයමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා