මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීමේ අරමුණින් කටාර් අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල් තානි ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

එහිදී ඔහු ඉරාන උසස් නිලධාරීන් හමුවී අමෙරිකාව සහ ඉරානය අතර සෘජු සංවාදයක් ගොඩනැගීමට මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හෝමූස් සමුද්‍රසන්ධියේ නාවික ගමනාගමනය සුරක්ෂිත කිරීම සඳහා තාවකාලික එකඟතාවකට පැමිණීමට ඉරානය සහ ඕමානය මෑතකදී එකඟ වී ඇති අතර, කටාර් අගමැතිවරයාගේ මෙම සංචාරය දූත මට්ටමේ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ලැබුණු වැදගත් අවස්ථාවක් ලෙසයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

මේ අතර, ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ සිදුකරන වැටලීම්, අත්අඩංගුවට ගැනීම් සහ දේපළ විනාශ කිරීම් තවදුරටත් ඉහළ දමා තිබෙනවා.

පලස්තීන වාර්තා සඳහන් කරන්නේ ජෙරුසලම, නාබ්ලුස්, බෙත්ලහෙම, හෙබ්‍රොන් සහ ජෙනින් යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී ළමයින් ඇතුළු පලස්තීන ජාතිකයින් රැසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ගැටුම්වලදී කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි.